මාලිංග ක්‍රීඩාව ආරම්භ කළේ 'මලල ක්‍රීඩාවෙන්'

  • 7 අප්‍රේල් 2014
Image caption 'ලසිත් මාලිංග මුලින්ම ලෙදර් බෝල් ක්‍රීඩා කළේ විද්‍යාලෝක විද්‍යාලයෙන්'

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක ලසිත් මාලිංග සිය ක්‍රීඩා ජීවිතය ආරම්භ කළේ ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේදී මලල ක්‍රීඩාවෙන් බව ඔහුට ක්‍රීඩාව හඳුන්වා දුන් ක්‍රීඩා ගුරුවරයා පවසයි.

ඉන් අනතුරුව ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසී තිබෙන්නේ පාසලේ වයස අවුරුදු දාහතෙන් පහල කණ්ඩායමට සම්බන්ධ වෙමින්.

තමන් විද්‍යාලෝක විද්‍යාලයට ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වා දීමෙන් අනතුරුව මලල ක්‍රීඩාවේ යෙදී සිටි ලසිත් මාලිංගට ක්‍රිකට් ක්‍රීඩාවට ආරාධනා කළ බවයි, ක්‍රීඩා ආචාර්ය ජගත් සේමසිංහ බීබීසී සංදේශයට කියා සිටියේ.

"ලසිත් මාලිංග සැහැල්ලු පන්දු ක්‍රීඩා කරන්න ඇති නමුත් මුලින්ම ලෙදර් බෝල් ක්‍රීඩා කළේ විද්‍යාලෝක විද්‍යාලයෙන් තමයි වයස අවුරුදු දාහතෙන් පහල කණ්ඩායමට," යනුවෙන් ඔහු කියා සිටියේය.

ක්‍රීඩාවට සම්බන්ධ වීමට පෙර ලසිත් මාලිංග ගණිතය විෂයයෙන් දක්ෂ ලෙස හැදෑරූ දක්ෂ ශිෂ්‍යයකු වූ බවද ජගත් සේමසිංහ මාධ්‍යවේදී රත්නසිරි නල්ලපෙරුම සමඟ කියා සිටියේය.

ලෝකයටම දස්කම් දක්වන ක්‍රීඩකයකු හඳුන්වා දීමට ලැබීම පිළිබඳව අහිංසක ආදාම්බරයක් තිබෙන බව ක්‍රීඩා ආචාර්ය ජගත් සේමසිංහ පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර