මහේලට, සංගාට 'විනය පරීක්ෂණ නෑ'

Image copyright
Image caption ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ හැසිරීම මහේල සහ සංගක්කාරගේ විවේචනයට ලක් විය

මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමේ සැලසුමක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ජයන්ත ධර්මදාස සහ උප සභාපති මොහාන් සිල්වා ඒ බව ජනමාධ්‍යවලට ප්‍රකාශ කොට තිබේ.

මේ අතර ඩේලි මිරර් පත්‍රය සමඟ අදහස් දැක්වූ ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග, මහේල සහ සංගක්කාර ක්‍රීඩකයන් තමා සහ ප්‍රධාන විධායක නිලධාරියා ප්‍රසිද්ධියේ විවේචනය කරමින් කරන ලද ප්‍රකාශ විනය කමිටුවට යොමු කළේ ඔවුන්ට එරෙහිව විනය පියවර ගත යුතුද යන්න සොයා බැලීම පිණිස පමණක් බව සඳහන් කළැයි පත්‍රයේ ක්‍රීඩා සංස්කාරක චන්නක ද සිල්වා බීබීසී සංදේශයට පැවසීය.

වැඩි විස්තර දැන ගැනීම පිණිස ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

අලුත් කොන්දේසියක්

මේ අතර බදාදා විනය කමිටුවෙන් ඉල්ලා අස්වීම භාර දුන් කමිටුවේ සාමාජික ජනාධිපති නීතිවේදී ඩිලාන් ෆිලිප්ස් ඒ පිළිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේය.

ක්‍රීඩකයන්ගේ ඡායාරූප යොදා ගැනීම වෙනුවෙන් ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ලැබෙන මුදලින් සියයට දහයක මුදලක් ලබා ගැනීමට ක්‍රීඩකයන් එකඟවීමත් සමඟම ක්‍රීඩකයන්ගේ වාර්ෂික කොන්ත්‍රාත්තු පිළිබඳ ගැටලුවද සමථයකට පත් වී තිබේ.

ජගත් පාලක මණ්ඩලයෙන් ලැබෙන මුදල සම්බන්ධයෙන් ඉදිරි වසර පහ ඇතුලත වෙනත් ඉල්ලීමක් ඉදිරිපත් නොකරන බවට විශේෂ කොන්දේසියක්ද මේ වසරේ කොන්ත්‍රාත්තුවට ඇතුලත් බවයි, චන්නක ද සිල්වා පවසන්නේ.

ඒ සමඟම තරඟවලදී දස්කම් දැක්වීම වෙනුවෙන් ක්‍රීඩකයන්ට ලබා දෙන විශේෂ දීමනා අත්හිටුවා ඇති බැවින් අවසානයේදී ක්‍රීඩකයන්ට මෙතෙක් ලැබුණු මුදලට වඩා අඩු මුදලක් ලැබීමට ඉඩ තිබෙන බවද ඔහු පවසයි.