ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ක්‍රිකට් පිලෙන් ලිංගික අල්ලස්: 'දැඩි දඬුවම්'

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තෝරා ගැනීම පිණිස ක්‍රීඩිකාවන් ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටි බවට එල්ල වී තිබෙන චෝදනාව සනාථ වුවහොත් වැරදිකරුවන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට පසුබට නොවන බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට අයුතු බලපෑම් සිදු වන බවට මාධ්‍ය වාර්තා පළවීමෙන් අනතුරුව ඒ පිළිබඳව සොයා බලන මෙන් තමන් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරීය නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බව, බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේය.

නියෝජ්‍ය අමාත්‍ය ජයසූරීය එම වාර්තාව බදාදා තමන්ට භාරදීමට නියමිත බවත් ඇමතිවරයා සඳහන් කළේය.

මේ අතර චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම පිණිස කමිටුවක් පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද නිවේදනය කොට තිබුණි.

පුරුෂයන් පමණයි

එම කමිටුවේ සියලුම සාමාජිකයන් ආයතනයේ විධායක කමිටු සාමාජිකයන් වන බැවින් අදාළ පරීක්ෂණය කෙතරම් සාධාරණ වනු ඇත්දැයි විමසූ අවස්ථාවේ අමාත්‍යවරයා කියා සිටියේ සාධාරණ පරීක්ෂණයක් පැවැත්වෙනු ඇතැයි තමන්ට විශ්වාස බවයි.

කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බවට එල්ල වන චෝදනාවක් පරීක්ෂා කිරීම පිණිස පුරුෂයන්ගෙන් පමණක් සමන්විත කමිටුවක් පත්කළේ මන්දැයි සංදේශය අමාත්‍යවරයාට යොමු කළ තවත් ප්‍රශ්නයක්.

වැරදිකරුවන්ට එරෙහිව දැඩි පියවර ගැනීම යනු පදවියෙන් ඉවත් කිරීම පමණක් දැයි කළ විමසීමට අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය වූයේ: "එයින් එහාට මට කරන්න දෙයක් නෑනේ,"යන්නයි.

එහෙත් ලිංගික අල්ලස් ඉල්ලීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගන්නේ දැයි විමසූ විට: "පැහැදිලිවම. අනිවාර්යයෙන්ම. ක්‍රීඩිකාවකට එවැනි සිදුවීමක් කළයි කියල ඔප්පු වුනොත් දෙන්න පුළුවන් උපරිම දඬුවම් ලබා දෙනවා," යනුවෙන් ඇමතිවරයා සඳහන් කළේය.

කෙසේ නමුත් තේරීම් කමිටුවට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාව සම්පූර්ණ අසත්‍යයක් බව කාන්තා තේරීම් කමිටුවේ සභාපති ජයන්ත අමරසිංහ සංදේශය කළ විමසීමකදී කියා සිටියේය. පරීක්ෂණය අවසාන වන තුරු වැඩිදුර කිසිවක් සඳහන් කළ නොහැකි බවත් ඔහු පැවසීය.