"මට ආරම්භක පිතිකරු ස්ථානය දෙන්න කියල මම නොකළ එකම දේ තේරීම් කමිටුව ඉදිරියේ දන ගහල වැඳපු එක විතරයි"
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මහේල ගෙන් ඉල්ලීමක් නෑ - සනත්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ස්ථානය ලබා දෙන මෙන් මහේල ජයවර්ධන ඉල්ලීමක් කොට නැති බව තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය ප්‍රකාශ කරයි.

එසේ ඉල්ලීමක් ඉදිරිපත් වුවත්, මේ මොහොතේ කණ්ඩායමේ ප්‍රමුඛත්වය හිමි විය යුත්තේ ඉන්දීය ශූරතාවලියේ ඉතිරි තරඟ දිනා ගැනීමට බවද තේරීම් කමිටු සභාපතිවරයා සංදේශයට පැවසීය.

නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය ඒ බව කියා සිටියේ, සිය ක්‍රීඩා ජීවිතයේ අවසාන භාගයේදී කණ්ඩායමේ ආරම්භක පිතිකරු ස්ථානය ලබා දෙන මෙන් මහේල ජයවර්ධන කර තිබෙන ඉල්ලීම පිළිබඳව බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ.

"මට ආරම්භක පිතිකරු ස්ථානය දෙන්න කියල මම නොකළ එකම දේ තේරීම් කමිටුව ඉදිරියේ දන ගහල වැඳපු එක විතරයි," යනුවෙන් මහේල ජයවර්ධන ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවියට පවසා තිබුණි.

'විවෘත මනසකින්'

කෙසේ නමුත් කණ්ඩායමේ හිටපු නායකයා කිසිදිනෙක එවැනි ඉල්ලීමක් කොට නැති බව පවසන තේරීම් කමිටු සභාපතිවරයා, එබැවින් එවැන්නක් පිළිබඳව මෙතෙක් සිය අවධානයට ලක් වී නැති බව සංදේශයට පැවසීය.

Image caption "මම හිතන්නේ ඕව කථාකරන වෙලාවක් නෙවෙයි මේ වෙලාවේ තියෙන්නේ. ඉස්සෙල්ල අපි ඉන්දියාවේ ටුවර් එක හරියට අන්තිම තරඟ දෙකවත් ජයග්‍රහණය කරලා එක ඉවර කරගන්න ඕනේ"

"මම හිතන්නේ ඕව කථාකරන වෙලාවක් නෙවෙයි මේ වෙලාවේ තියෙන්නේ. ඉස්සෙල්ල අපි ඉන්දියාවේ ටුවර් එක හරියට අන්තිම තරඟ දෙකවත් ජයග්‍රහණය කරලා එක ඉවර කරගන්න ඕනේ," යනුවෙන්ද සනත් ජයසූරිය සඳහන් කළේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.

කණ්ඩායමේ බොහෝ වෙනස්කම් පිළිබඳව තේරීම් කමිටුව 'විවෘත මනසකින් යුතුව' නිරන්තරයෙන් සාකච්ඡා කරන බවත් ඔහු පැවසීය.

මෙවර ඉන්දීය සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සුපුරුදු දස්කම් නොදැක්වීම පිළිබඳව 'කලබල නොවී' කණ්ඩායමට අවශ්‍ය සහයෝගය ලබා දිය යුතු බව පවසන නියෝජ්‍ය අමාත්‍යවරයා, එම සංචාරයෙන්ද අත්දැකීම් උකහාගෙන කණ්ඩායම එළැඹෙන ලෝක කුසලානයට සාර්ථකව මුහුණ දෙනු ඇතැයි යන්න සිය බලාපොරොත්තුව බවත් සඳහන් කළේය.

හදිසියේම සංවිධානය කෙරුණු ඉන්දීය සංචාරය වෙනුවෙන් සූදානම් වීම පිණිස ප්‍රමාණවත් කාලයක් නොතිබුන බවට නායක ඇන්ජලෝ මැතිවුස් ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් පළ කොට තිබූ අදහස් පිළිබඳව විමසූ අවස්ථාවේ සනත් ජයසූරිය කියා සිටියේ, එම ප්‍රකාශය සත්‍යයක් වුවත් කණ්ඩායම එය 'නිදහසට කාරණයක්' කරගත යුතු නැති බවයි.

ඉන්දීය සංචාරය හදිසියේ යොදා ගැනීම මගින් කණ්ඩායමට සාධනීය මෙන්ම නිශේධනීය බලපෑමක්ද ඇතිවිය හැකිය යන්න සිය මතය බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.