අයිපීඑල් තවත් ප්‍රධානීන්ට දූෂණ චෝදනා

Image caption රාජ් කුන්ද්‍රා සහ අයිපීඑල් ලීගයේ හිටපු ප්‍රධාන විධායක සුන්දර් රාමන් ගේ නම් අධිකරණය අනාවරණය කළේය

ඉන්දියාවේ ධනවත්ම ක්‍රිකට් ශූරතාවලිය වන අයිපීඑල් ඉන්දීය ප්‍රීමියර් ලීගයේ දූෂණ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම පිණිස අධිකරණ නියෝගයක් ප්‍රකාර පත්කෙරුණු කමිටුවේ පරීක්ෂණයට භාජනය වූ ඉහල පෙළේ පුද්ගලයන්ගේ නම් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අනාවරණය කොට තිබේ.

රාජස්තාන් රෝයල්ස් ක්‍රීඩා සමාජයේ සම-අයිතිකරු රාජ් කුන්ද්‍රා සහ අයිපීඑල් ලීගයේ හිටපු ප්‍රධාන විධායක සුන්දර් රාමන්ගේ නම්ද ඒ අතර තිබේ.

රාජ් කුන්ද්‍රා, ජනප්‍රිය බොලිවුඩ් නිලි ශිල්පා ශෙට්ටි ගේ ස්වාමි පුරුෂයාය.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති පදවියෙන් තාවකාලිකව ඉවත්ව සිටින එන් ශ්‍රීනිවාසන් සහ ඔහුගේ බෑණා වන ගුරුනාත් මෙයියප්පන් ගේ නම් මීට ඉහතදී ශ්‍රේෂ්ඨාධිකරණය අනාවරණය කළේය.

ගුරුනාත් මෙයියප්පන්, චෙන්නායිසුපර් කිංග්ස් ක්‍රීඩා සමාජයේ ප්‍රධානියකු වූ අතර, පරීක්ෂණ නිමා වන තුරු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති පදවියෙන් ඉවත්වන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය එන් ශ්‍රීනිවාසන්ට නියෝග කළේය.

මේ චෝදනා පිළිබඳව නිදහසට කරුණු දක්වන මෙන් ඔවුන් සිවුදෙනාටම නොතීසි නිකුත් කිරීමට නියමිත අතර චෝදනා පිළිබඳ විභාගය ලබන නොවැම්බර් 24 වැනි දින යළිත් කැඳවීමට නියමිතයි.

විශ්‍රාමික විනිශ්චයකරුවකු විසින් පවත්වන ලද මූලික පරීක්ෂණ වාර්තාවේ අඩංගු කරුණු පිළිබඳව ඉන්දීය අධිකරණය විමසා බලමින් සිටියි.