දිමුත් ආබාධයකට ලක් වෙයි; සංචිතයේ දහ තුන් දෙනයි.

Image copyright AFP

අද උදෑසන සිඩ්නි ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පුහුණු සැසියක් අතරතුර පන්දුවක් අතේ වැදීම හේතුවෙන් පිතිකරු දිමුත් කරුණාරත්න ආබාධයකට ලක් විය.

දිමුත් කරුණාරත්න ආබාධයට ලක් වීමත් සමඟ ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයන් සිටින්නේ 13 දෙනෙකු පමණි.

සිඩ්නි නුවර සිටින තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය බීබීසීයට පැවසුවේ දිමුත් කරුණාරත්නගේ ඇඟිල්ලක් බිඳී ගොස් ඇති බවට වෛද්‍ය වාර්තා සනාථ කරන බවයි.

‘රෝහලේ දී කරපු එක්ස් රේ පරීක්‍ෂණයේ දී පෙන්නනවා ඇඟිල්ල කැඩිලා කියලා, එයාට ශල්‍ය කර්මයක් කරන්න වෙන විදිහක් තමයි තියෙන්නේ’ තේරීම් කමිටු සභාපතිවරයා පැවසීය.

දිමුත් වෙනුවට සීකුගේ

දිමුත් කරුණාරත්නගේ ආබාධය අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය අනුමත කළ පසු ඔහු වෙනුවෙන් ක්‍රීඩකයෙකු ආදේශ කළ හැකි අතර තේරීම් කමිටු සභාපතිවරයා පැවසුවේ බොහෝ දුරට දිමුත් වෙනුවට සීකුගේ ප්‍රසන්න කණ්ඩායමට කැඳවීමට ඉඩ ඇති බවයි.

ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ද අවශ්‍ය වුවහොත් කණ්ඩායමට එක්වීම සඳහා අද දින ඔස්ට්‍රේලියාවට කැඳවූ බවයි සනත් ජයසුරිය බීබීසීයට පැවසුවේ.

රංගන හේරත්ගේ ඇඟිල්ලේ ආබාධය සුවවීමට තව සතියක පමණ කාලයක් ගත වනු ඇති බවට වාර්තා වන අතර ඔහුව දිගටම සංචිතයේ තබා ගැනීමටයි කණ්ඩායමේ කළමනාකාරිත්වය තීරණය කර තිබෙන්නේ.