නවසීලන්තය ලෝක කුසලාන අවසාන මහා තරගයට

Image copyright AFP

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත් කරමින් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයට සුදුසුකම් ලැබුවේය.

පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 216 ලබා සිටියදී වර්ෂාව ඇද හැලීමත් සමග නැවත තරගය ආරම්භ කෙරුණේ පැයකට පසුවයි.

පැවති අයහපත් කාලගුණය හේතුවෙන් තරගය පන්දුවාර 43කට සීමා කෙරිණි.

ඒ අනූව දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 43කදී කඩුලු 5ක් දැවී ලකුණු 281ක් ලබා ගැනීමට සමත් විය.

Image copyright AFP
Image caption පරාජයෙන් ශෝකයට පත් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන්

ඉන් අනතුරුව, වර්ෂාව හේතුවෙන් තරගය නවතා දැමුණු කාලය සැලකිල්ලට ගෙන පන්දුවාර 43දී නවසීලන්ත කණ්ඩායමට ලකුණු 298ක ඉලක්කයක් ලබා දීමට තීරණය කෙරුණේ ඩක්වත් ලුවිස් න්‍යාය යටතේයි.

ඒ අනූව දකුණු අප්‍රිකානු කණ්ඩායම හා තියුණු තරගයක යෙදුණු නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 42යි පන්දු පහකදී කඩුලු 6ක් දැවීලකුණු 299ක් ලබා ගනිමින් ලෝක කුසලාන අවසාන මහා තරගයට සුදුසුකම් ලැබීය.

මාර්තු 26 වනදා ඔස්ට්‍රේලියාවත් ඉන්දියාවත් අතර අර්ධ අවසාන පූර්ව තරගය පැවැත්වෙන අතර ඉන් ජය ලබන කණ්ඩායම ලෝක කුසලාන මහා තරගයේදී නවසීලන්තයට එරෙහිව තරග කිරීමට නියමිතයි.