ඉන්දියාව ලෝක කුසලාන තරඟාවලියෙන් සමු ගනී

Image copyright AP

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අද (26) පැවැත්වුන දෙවන අර්ධ අවසාන තරඟයෙන් ඉන්දියානු කණ්ඩායම පරාජයට පත් විය.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගනයේ පැවැත්වුන තරඟයේ දී පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත ඕවර පනහේ දී කඩුලු හතක් දැවී ලකුණු 328 ක් ලබාගත් අතර ඉන්දියානු කණ්ඩායමට සිය ජයග්‍රහණය සඳහා ලකුණු 329 ක දුෂ්කර අභියෝගයකට මුහුණ දීමට සිදු විය.

එහෙත් නියමිත ඕවර පනහ සම්පූර්ණ කිරීමටත් පෙරම ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම දවා ලීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් වූහ.

Image copyright AFP

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඒ.ජේ.පිංච් ලකුණු 81 ක් රැස් කරමින් සිය කණ්ඩායම සඳහා ශක්තිමත් ආරම්භයක් ලබා දුන් අතර තෙවැනි ක්‍රීඩකයා හැටියට පිටියට බර එස්.පී.ඩී.ස්මිත් ලකුණු 105 ක් රැස් කරමින් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

ඉන්දියානු පසුබෑම

ලකුණු 329 ක් රැස් කිරීමේ අභියෝගය භාර ගනිමින් පිටියට බට ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ රෝහිත් ෂර්මා සහ එස්.ධවාන් හොඳ ආරම්භයක් ලබා දුන්නත් ඔවුන් දෙදෙනා අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ලීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් සමත් වූ අතර සුපිරි පිතිකරුවකු වන විරාත් කෝලි එක ලකුණකට සීමා කිරීමට ඔවුහු සමත් වූහ.

Image copyright AFP

ඉන්දියානු කණ්ඩායමේ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ නායක එම.එස්.දෝනි දුවද්දී දැවී ගිය අතර, ඕවර් 46 පන්දු පහකදී එම කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් දවා ලීමට ඔස්ට්‍රේලියාව සමත් විය.

මහේන්ද්‍ර සිං දෝනි

තරඟය නිම වීමෙන් අනතුරුව ඉන්දීය පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි ගෙන් මාධ්‍යවේදීන් මුලින්ම විමසා සිටියේ ඔස්ට්‍රේලියාව ලබා දුන් ඉලක්කය හඹා යා හැකි ඉලක්කයක් ලෙස තමා සැළකුවේ ද යන්නයි.

‘ඔව්, ඒකට හේතුව මේකයි. මම දැනගෙන හිටිය තරඟයේ දෙවන භාගයේදී විකට්ටුව වඩා හොඳ තත්වයකට පත් වෙන බව. කාසියේ වාසිය දිනා ගන්න බැරි වුන මොහොතේ මගේ හිත ටිකක් කලබල වුනා. මං හිතුවා දඟ පන්දු යවන්නන්ට හොඳින් පළ නෙළා ගන්න බැරි වෙයි කියලා. නමුත් ජඩේජා සහ අශ්වින් හොඳින් සෙල්ලම් කළා. වේග පන්දු යවන්නන්ට මීට වැඩි යමක් කරන්න තිබුනා. අපි පන්දුවට පහර දෙන විට දැඩි පීඩනයක් එල්ල වුනා. හොඳ පිති හරඹයක් අත්‍යවශ්‍යව තිබුනා. ඒක ඒ තරම් පහසු කාරියක් වුණේ නැහැ.’ නායක මහේන්ද්‍ර සිං දෝනි පිළිතුරු දුන්නේය.

ඉන්දීය මාධ්‍ය

Image copyright AFP

ඉන්දීය ක්‍රීඩා ලෝලීන්ට මෙය දරා ගත නොහැකි පරාජයක් ලෙසටයි ඉන්දීය මාධ්‍ය මෙය වාර්තා කර තිබුණේ.

NDTV රූපවාහිනී සේවය මෙය වාර්තා කළේ ඉන්දීය හදවත් බිලියනයක බලාපොරොත්තු කඩ වීමක් ලෙසින්.

දිල්ලියේ සිට තරඟය නැරඹූ ක්‍රීඩා ලෝලීන් කිහිප දෙනෙකු බීබීසී වාර්තාකරුට මෙවැනි අදහස් පළ කර තිබුණි.

‘මැච් එක පටන් ගන්න කොට හැමෝම හිටියේ හරිම උද්යෝගයෙන්. මුලදී හිතුවේ අපි දිනනවාමයි කියල. අන්තිමට අපි පැරදුණා. අපේ හදවත් කඩා වැටිලා වගේ.’

'ඔස්ට්‍රේලියාව සෙල්ලම් කළේ ඒ අයගෙම රටේ. ඒ නිසා ඒ ගොල්ලන්ට කොහොමටත් වාසියි. අපි වෙන රටක සෙල්ලම් කරද්දී තත්වය වෙනස්. ඒක අද හොඳටම පෙනුනා.’

‘අපි පසුතැවිලි විය යුතු නැහැ. අර්ධ අවසානයට ඒම ගැන ඉන්දීය කණ්ඩායම අගය කළ යුතුයි. ඒක ලොකු දෙයක්. ඉන්දීය කණ්ඩායම ගෙදර එනකොට අපි ආදරයෙන් පිළිගන්න ඕන.’

Image copyright AFP

ලබන ඉරිදා (29) මෙල්බර්න් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ලෝක කුසලාන අවසාන මහා තරඟය පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම් අතරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර