පාසල් දරුවන් මුරලි අනුකරණය කිරීම 'ප්‍රශ්නයක්'

ලෝක වාර්තා කිහිපයක්ම බිහි කරමින් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමෙන් අනතුරුව ඔහු අනුගමනය කළ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් පන්දුව දමාගසන්නට පෙළඹීම බරපත ගැටලුවක් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීහු පවසති.

"මොකද එයාව ටීවී එකේ බලල මේ පොඩි දරුවෝ එයාව කොපි කරන්න පටන් ගත්තට පස්සේ තමයි ලංකාවේ මේක පටන් ගත්තේ," ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවර්ධන පුහුණුකරු රවීන්ද්‍ර පුෂ්පකුමාර බීබීසී සංදේශයට පැවසීය.

ගතව ගිය වසරක පමණ කාලය ඇතුලත එසේ නීතිවිරෝධී ලෙසින් පන්දුව දමාගසන බව හඳුනාගත් එකසිය විස්සකට වැඩි පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඉරියවු නිවැරදි කිරීම පිණිස කටයුතු කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

පාසල් වියේදී 'පහසුයි'

"ඒ 120න් දැනට අපි 13 දෙනකුට පමණයි නැවත ක්‍රීඩා කරන්න දීල තියෙන්නේ," රවීන්ද්‍ර පුෂ්පකුමාර සඳහන් කළේ බීබීසී යේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

Image copyright Reuters
Image caption පන්දුව දමා ගසන බව තීරණය කෙරුණු සචිත්‍ර සේනානායක දැන් සිය ඉරියවුව නිවැරදි කරගෙන තිබේ

කෙසේ නමුත් මෙම වැඩපිළිවෙල ආරම්භ කිරීමෙන් අනතුරුව නීතිවිරෝධී ඉරියවුවලින් පන්දු යවන බව හඳුනාගත් පාසල් දරුවන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් පහල වැටී තිබෙන බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සචිත්‍ර සේනානායකගේ පන්දු යැවීම නීතිවිරෝධී බව ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය තීන්දු කිරීමෙන් අනතුරුව සිය ඉරියවුව නිවැරදි කරගැනීමට ඔහුට සිදුවිය.

ඔහුගේ පන්දු යැවීම නිවැරදි බව ජගත් පාලක මණ්ඩලය දැන් පිළිගෙන තිබේ.

ජාතික මට්ටමේ හෝ පළමු පෙළ ක්‍රීඩකයකු වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකුගේ ඉරියවු වෙනස් කිරීම ඉතා දුෂ්කර බවයි රවීන්ද්‍ර පුෂ්පකුමාර පවසන්නේ.

"ඔහුගේ පැරණි මට්ටමට පන්දු යැවීම හරිම අමාරු කාර්යයක්. ඒ නිසා ක්‍රීඩකයා තීරණය කළ යුතුයි ඔහු මොකක්ද කරන්නේ කියලා."

කෙසේ නමුත් පාසල් වියේ දරුවන්ගේ ඉරියවු වෙනස් කිරීම ඉතා පහසු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.