ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

තුන් මසක විරාමයකින් පසු ක්‍රිකට් පිල යළිත් පිටියේ

මාස තුනක පමණ විවේකයකින් පසු යළි පිටියට පිවිසෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බදාදා පාකිස්තානයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් තරගයට මුහුණ දීම සඳහා ''හොද සුදානමකින්'' පසු වෙති.

ශ්‍රී ලංකා, පාකිස්තාන තරගාවලිය ටෙස්ට් තරග තුනකින් සමන්විත වේ.

තරගාවලිය සඳහා සිය කණ්ඩායම හොද සුදානමකින් පසු වන බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් පවසන්නේ.

අවසන් වරට ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරගාවලියක් පැවැත්වුණේ පසුගිය වසරේ අගෝස්තු මාසයේදී.

පකිස්තානය සමග පැවති එම තරගාවලිය ශ්‍රී ලංකාව 2-0 ලෙස පහසු ජයක් අත් කර ගත් නමුත් එම තරගාවලිය ක්‍රීඩා ලෝලීන්ගේ මතකයේ රැඳෙන්නේ ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම පිතිකරුවකු වන මහේල ජයවර්ධනගේ අවසාන ක්‍රිකට් තරගාවලිය වීම හේතුවෙන්.

ඉන් පසු ශ්‍රී ලංකාව නවසීලන්තයේදී ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කර පරාජය වූ නමුත් ලෝක කුසලානය සඳහා වූ සුදානම හේතුවෙන් එම පරාජයට වැඩි අවධානයක් යොමු නොවුණි.

ලෝක කුසලානය පරාජයත් සමග මහේල ජයවර්ධන සම්පුර්ණයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් අතර සුපිරි පිතිකරු කුමාර සංගක්කාරද පවසා සිටියේ තමන් ටෙස්ට් තරග කිහිපයක් පමණක් ක්‍රීඩා කර විශ්‍රාම ගන්නා බවයි.

සංගක්කාර?

පකිස්තාන ටෙස්ට් තරගාවලියේ තරග දෙකක් හා ඉන්දියාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ආයුබෝවන් කීමට කුමාර සන්ගකකාරද සුදානම් වන බව මේ අතර වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් බීබීසීයේ අසාම් අමීන් කළ විමසීමකදී කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් කියා සිටියේ අවශ්‍ය පරිදි තරග තෝරා ගෙන ක්‍රීඩා කිරීමට කුමාර සංගක්කාරට අවස්ථාව ලබා දී ඇති බවයි

‘ඔහුට අවශ්‍ය තරග ක්‍රීඩා කිරීමට අපි ඔහුට නිදහස් දීලා තිබෙන්නේ. ඔහු කරලා තියෙන සේවය අනුව ඔහු විශ්‍රාම යන්නේ කොහොමද කියල තීරණය කරන්න ඔහුටම බාර දිය යුතුයි’ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා පැවසීය.

පාකිස්තානයට එරෙහිව ආරම්භ වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නව පරිච්ඡේදයක ආරම්භයක් ලෙස හැඳින්විය හැකි බවයි ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදී රන්ජන් පරණවිතාන පවසන්නේ.

‘ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් විශ්‍රාම යාමෙන් නිසා ඔවුන්ට ආදේශ කර ඇති ක්‍රීඩකයන් කෝයි ආකාරයෙන් මේ තරගාවලියට අවතීර්ණ වන්නේ දැයි බලා සිටිම ගොඩක් වැදගත්’ ඔහු පැවසීය

'ජෙහාන් මුබාරක්'

සුපිරි පිතිකරු කුමාර සංගක්කාර විශ්‍රාම යාමට නියමිතව ඇති බැවින් අත්දැකීම් සහිත ජෙහාන් මුබාරක් වැනි ක්‍රීඩකයන් කණ්ඩායමට කැඳවීමේ වරදක් නොමැති බවයි කණ්ඩායම ගැන අදහස් දක්වමින් රන්ජන් පරණවිතාන පෙන්වා දෙන්නේ.

‘අලුතින් ක්‍රීඩකයන් එක් කිරිමේදී නව ක්‍රීඩකයන් ගෙන්ම රැඳෙන්න බැහැ. අත්දැකීම් සහිත ක්‍රීඩකයනුත් ඕනේ. ඉතින් ලකුණු අතර ඇති මුබාරක් කැඳවීම වරදක් නැහැ’ ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස්ද පවසන්නේ ක්‍රීඩකයන් යහපත් ශාරීරික යෝග්‍යතාවයෙන් හා ලකුණු අතර සිටින්නේ නම් ඒ සඳහා ඔවුන්ගේ වයස ප්‍රශ්නයක් කර ගත යුතු නැති බවයි.

'ප්‍රබල තර්ජනයක්'

අවසන් වරට ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවති ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකාව 2-0 ක් ලෙස පහසුවෙන් ජය ගත්තේ රංගන හේරත්ගේ සුපිරි පන්දු යැවීම හේතුවෙන්. රංගන හේරත් මෙවර තරගාවලියේදීද පාකිස්තානයට ප්‍රබල තර්ජනයක් එල්ල කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි පාකිස්තාන කණ්ඩායමේ නායක මිස්බාහ් උල් හක් පැවසුවේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නව ක්‍රීඩකයන් සිටියත් ඔවුන් ශ්‍රී ලංකාවේදී පරාජය කිරීම අසීරු කටයුත්තක් බව පැවසූ පාකිස්තාන කණ්ඩායමේ නායකයා, කෙසේ හෝ ශ්‍රී ලංකාව පරාජය කිරීම තම කණ්ඩායමේ බලාපොරොත්තුව වන බවත් සඳහන් කළේය.

බදාදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලිය ටෙස්ට් තරග 3කින් සමන්විත වන අතර ඉන් අනතුරුව එක් දින තරග 5කුත්, විස්සයි විස්ස තරග දෙකකුත් පාකිස්තානය සමග පැවැත්වේ.

පාකිස්තාන තරගාවලියෙන් පසු ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ටෙස්ට් හා එක් දින තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාව බලා පැමිණීමටද නියමිතයි.