විම්බල්ඩන්: වාර්තා පොත වෙනස් වෙයිද?

Image copyright Getty
Image caption ඔහු කොතරම් දක්ෂද කියලා අපි සියලු දෙනා දන්නවා - ප්‍රතිවාදී ක්‍රීඩක නොවැක් ජකෝවික්

විම්බල්ඩන් අවසාන තරගයේ ප්‍රතිවාදී ටෙනිස් ශූර නොවැක් ජකෝවික්ට එරෙහිව තරග වදින රොජර් ෆෙඩරර් ජයග්‍රහණය කළ හොත් විම්බල්ඩන් තරග ජයග්‍රහණ අටක් හිමි කර ගත් පළමු ක්‍රීඩකයා ලෙස ඔහු ටෙනිස් වාර්තා පොතට එක් වීමට නියමිතයි.

රොජර් ෆෙඩරර් සහ නොවැක් ජකෝවික් අතර විම්බල්ඩන් පිරිමි අවසාන තරගය මේ වන විට ආරම්භවී තිබේ.

පීට් සම්ප්‍රාස් සම කරමින් තිස්තුන් හැවිරිදි ෆෙඩරර් ටෙනිස් ජයග්‍රහණ වාර්තා හතකට හිමිකම් කියන අතර අද තරගය ජයග්‍රහණය කළ හොත් ඔහු යුගයේ වයසින් වැඩිම විම්බල්ඩන් ජයග්‍රාහකයා ලෙස ඉතිහාස පොතට එක් වේ.

මේ අතර විසිඅට හැවිරිදි නොවැක් ජකෝවික් දෙදහස් දාහතරේ පැවති විම්බල්ඩන් අවසාන තරගය දෙවන වරටත් ජයග්‍රහණය කළේ රොජර් ෆෙඩරර් පරාජයට පත් කරමින්.

Image copyright Reuters
Image caption ටෙනිස් ශූර නොවැක් ජකෝවික්

'මම රොජර් සමග බොහෝ වතාවක් තරග වැදිලා තියනවා. ඔහු විශිෂ්ට ප්‍රතිවාදීන්ගෙන් එක් අයෙක්' යැයි පවසන ජකෝවික් 'ඔහු කොතරම් දක්ෂද කියලා අපි සියලු දෙනා දන්නවා' යනුවෙන් සඳහන් කළේය.

සමස්ත එංගලන්ත ටෙනිස් ක්‍රීඩා සමාජ තරගාවලියේ අර්ධ අවසාන තරගයේ ජය තහවුරු කර ගනිමින් බ්‍රිතාන්‍ය ටෙනිස් ක්‍රීඩක ඇන්ඩි මුරේ පරාජය කිරීමටද රොජර් සමත් විය.