විජේවීර පවුලට 71 පළමු සගයන්ගේ අවධානය

Image copyright jvpsrilanka.com
Image caption ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් අවශ්‍ය උදව් උපකාර සඳහා 1971 කැරැල්ලට සම්බන්ධ වූ ක්‍රියාකරුන්ගෙන් සමන්විත ‘71 සංසදය’ සූදානමින් සිටි බව එම පක්ෂයේ ආරම්භක ක්‍රියාකරුවකු වන නිමල් මහරගේ පවසයි.

1971 කැරැල්ලේ මහ නඩුවේ සාමාජිකයකු වන නිමල් මහරගේ බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ 1989 දී රෝහණ විජේවීර ඝාතනය කරනු ලැබීමෙන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ පළමු කැරැල්ලට හවුල් වූ සාමාජිකයන් රැසක් සිය පැරණි නායකයාගේ දරු පවුල සඳහා සහන සැලසීමට ඉදිරිපත් වූ බවයි.

එහෙත් එම පාර්ශවයෙන් ප්‍රතිචාරයක් නොවීම නිසා ඊට අවස්ථාවක් නොලැබුණ බවයි නිමල් මහරගේ පවසන්නේ.

ශ්‍රී ලංකාවේ බොහෝ මාධ්‍ය වාර්තා මගින් පැවසෙන්නේ මෙතෙක් නාවික හමුදාව භාරයේ ජීවත් වූ විජේවීර පවුලේ සාමාජිකයන්ට ඉන් බැහැර වෙන මෙන් දැනුම් දීමක් කරනු ලැබ ඇති බවයි.

ජවිපෙ වගකීම

මේ තත්වය යටතේ විජේවීර පවුලට පිහිටවීම අතින් ජනතා විමුක්ති පෙරමුණට විශාල වගකීමක් ඇති බවත් නිමල් මහරගේ පෙන්වා දෙයි.

'ඔවුන් රෝහණ විජේවීර සහෝදරයාගේ බිරිඳ සහ දරුවන් වීම නිසාම නොව එම දරු පවුල එවැනි තත්වයකට පත් වුනේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරකම් නිසා හෙයින් පක්ෂයට ඔවුන් වෙනුවෙන් පියවර ගැනීමේ පළමු වගකීම පැවරෙනවා' නිමල් මහරගේ පවසයි.

එසේම ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් එවකට බලයේ සිටි ආණ්ඩුවට චෝදනා එල්ල කෙරෙන හෙයින් එම දරු පවුල ආරක්ෂා කිරීම අතින් ශ්‍රී ලංකාවේ කවර වූ හෝ ආණ්ඩුවක් පියවර ගත යුතු බවත් නිමල් මහරගේ කියා සිටියේය.