ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

රංගන විශ්‍රාම යයිද?

2016 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් පසු ක්‍රිකට් දිවියේ අනාගතය පිළිබඳ තීන්දුවක් ගන්නා බව ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පවසයි.

බීබීසීයේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් සමග සාකච්ඡාවකට එක් වෙමින් රංගන හේරත් පැවසුවේ 2016 විස්සයි විස්ස ලෝක කුසලානයෙන් පසු තමන් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බවට පළ වී ඇති මාධ්‍ය වාර්තා නිවැරදි නොවන බවයි.

"මම කිව්වේ 2016 ලෝක කුසලානයෙන් පස්සේ ඒ ගැන තීරණයක් ගන්නවා කියන එක, මම ඒ ගැන දිනයක් හෝ සමුගන්නවා කියලා මම කිව්වේ නැහැ"

2016 විස්සයි විස්ස ලෝක කුසලානයෙන් පසු ඉදිරියට ක්‍රීඩා කරන්නේ කුමන තරඟ දැයි තීරණයක් ගන්නා බවයි දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පැවසුවේ.

සම්මානයක්

පසුගියදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් තරගයේදී කඩුළු 10ක් ලබාගනිමින් රංගන ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා මෙහෙයවූ අතර සඳුදා පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රියේදී හොඳම ටෙස්ට් පන්දු යවන්නාට හිමි සම්මානය පිට පිට සිව් වතාවටත් දිනා ගැනීමටත් සමත් විය.

මෙලෙස දක්ෂතා අතර සිටියදී විශ්‍රාම යාමක් ගැන අදහස් පළ කිරීමට හේතුව කුමක් දැයිවිමසූ විට රංගන හේරත් පැවසුවේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගන්නා කාලයේ අසාන්නයේ තමන් සිටින බව තමන්ට හැඟෙන බවයි.

37 හැවිරිදි රංගන හේරත්ට අද දින තවත් විශේෂත්වයක් වූයේ ශ්‍රී ලංකා හා බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා උප නායකත්වය හිමි වීමයි.

කණ්ඩයමේ නිත්‍ය උපනායක ලහිරු තිරිමාන්න ලකුණු අතර නොසිටීම හේතුවෙන් කණ්ඩායමෙන් ඔහු ඉවත් කිරීම රංගනට එම අවස්ථාව ලැබීමට හේතුවයි.

උප නායකත්වය ලැබීම ගැන තමන් සතුටු වන බවයි රංගන හේරත් පැවසුවේ.