සාක්‌ ක්‍රීඩා: අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක්

සාක්‌ ක්‍රීඩා උළෙල වෙනුවෙන් පුහුණු වන ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශීත කාලගුණය යටතේ තරඟ වැදීමේදී අවධානය පළ කළ යුතු ප්‍රධාන කරුණු කිහිපයක් තිබෙන බව ක්‍රීඩා භෞතචිකිත්සකයෝ පෙන්වා දෙති.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ භෞතචිකිත්සක විශේෂඥවරයෙක් වන කුසල් කුමාර ගුණවර්ධන ඒ බව කියා සිටියේ ලබන පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත සාක්‌ ක්‍රීඩා උළෙල වෙනුවෙන් ලාංකීය ක්‍රීඩකයන්ගේ සූදානම පිළිබඳව බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ සාක් ක්‍රීඩා උළෙල කල් දමන ලෙස අනෙකුත් සාමාජික රටවල් ඉන්දියාවෙන් ඉල්ලා සිටියේ උතුරු ඉන්දීය ඇසෑම් ප්‍රාන්තයේ පවතින දැඩි ශීත කාලගුණය හමුවේ ක්‍රීඩා කිරීම තම ක්‍රීඩකයන්ට අපහසු බව පවසමින්.

ඔලුව සහ බෙල්ල

"ශීත කාලගුණයක් පවතින ප්‍රදේශවලදී මිනිස් ශරීරය තුළ වැඩි වශයෙන් ශක්තිය දහනය වනවා. ඒ සඳහා අවශ්‍ය ශක්තිය සපුරා ගනු ලබන්නේ පරිභෝජනය කරනු ලබන ආහාර ද්‍රව්‍ය හරහායි," කුසල් කුමාර ගුණවර්ධන පැවසීය.

Image copyright Kusal Kumar Gunawardena
Image caption මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ භෞතචිකිත්සක විශේෂඥවරයෙක් වන කුසල් කුමාර ගුණවර්ධන

"එහිදී ඊට අවශ්‍ය නිසි ආහාර වේලක් ලබා ගැනීම අත්‍යවශ්‍යයි. ලංකාවේ අපි ආහාරයට ගන්නේ පිෂ්ටය බහුල බත්. ඒක ඉතාමත් හොදයි ශීත කාලගුණයක් යටතේ තරඟ වදින සහ පුහුණු වන ක්‍රීඩකයන්ට."

මෙවැනි කාලගුණික තත්වයන් යටතේ තරඟ වදින ක්‍රීඩකයන් සිරුරට අවශ්‍ය ජලය සහ ශක්තිය රඳවා තබා ගැනීම සඳහා අවශ්‍ය පානයන් සම්බන්ධයෙනුත් සැලකිලිමත් විය යුතු බව භෞතචිකිත්සකවරයා පෙන්වා දෙයි.

"ශීතල ස්ථානවලදී අපේ ශරීරයෙන් විශාල වශයෙන් උණුසුම පිට වන්නේ හිස ප්‍රදේශයෙන් සහ බෙල්ලෙන්. අපේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජැකට්, ට්‍රැක් කලිසම්, සපත්තු, ඝන මේස්වලින් සැරසී සිටියත් ගොඩක් අය බෙල්ලයි, ඔළුවයි වහන්නේ නැහැ. ඔලුව සහ බෙල්ල ආවරණය කරනවා නම් ශරීරය තුළ තිබෙන උෂ්ණත්වය ඒ ආකාරයටම රඳා පවතිනවා."

ශරීර යෝග්‍යත්වය

වැඩිදුරටත් අදහස් දැක්වූ කුසල් කුමාර ගුණවර්ධන: "ශීතල තැන්වලදී අපේ කන්තුකවාහිනී පද්ධතිය වැඩියෙන් වැඩ කරනවා. ඒ කියන්නේ හෘදය වස්තුවේ සහ පෙනහළුවල ක්‍රියාකාරිත්වය වැඩි වෙනවා අවශ්‍ය ශක්තිය ලබා ගැනීම සඳහා. ඒ සඳහා ඉහළ මට්ටමේ කඩිනම් පුහුණුවක් අවශ්‍යයි. එහෙම කලහාම හෘදය වස්තුවේ සහ පෙනහළුවල පරිවෘත්තීය ක්‍රියාකාරිත්වය වැඩි වෙනවා. දිනපතා කෙරෙන පුහුණුවීම්වලට අමතරව සතියකට දෙවරක් ශරීරයට ඉහළ මට්ටමේ කඩිනම් පුහුණුවක් ලබා දීමත් අවශ්‍යයි. ඒ හරහා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශරීරය සුදානම් කෙරෙනවා ශීත ස්ථානවල තරඟ වදින්න."

මීට අමතරව පිදුරුතලාගල වැනි ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවලට සාපේක්ෂව මුහුදු මට්ටමේ සිට ඉහලින් පිහිටි ප්‍රදේශවලට ගොස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය පුහුණුවීම්වල නිරත වීමේ වැදගත්කමත් ඔහු පෙන්වා දෙයි.

"එවැනි ස්ථානවලදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශරීර යෝග්‍යතා මට්ටම ඉතා ඉක්මණින් වර්ධනය වෙනවා. ලංකාවේ තියන වාසිය තමයි රට පොඩි වුනාට තැන් තියනවා හොදට පුහුණුවීම් කරන්න.නුවරඑළිය වැනි ප්‍රදේශවල දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි වගේ මාසවල උෂ්ණත්වය ඉතා පහළ මට්ටමක තිබෙන්නේ.ඒ වගේ තැන්වල පුහුණුවීම්වල යෙදුනහම අපේ මලල ක්‍රීඩකයන් සුදානම් වෙනවා ඉන්දියාවේ ඇසෑම් වගේ ප්‍රදේශවලදී තරඟ වදින්න."

මානසික ශක්තිය

සාක් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිදුරුතලාගල සහ නුවරඑලිය වැනි ශීත කාලගුණයක් පවතින ප්‍රදේශවලට ගොස් සති හයක් වැනි කෙටි කාලයක් සිය පුහුණුවීම්වල යෙදෙන්නේ නම් එය ජයග්‍රහණ ලබා ගැනීම සඳහා රුකුලක් වනු ඇති බවත් භෞතචිකිත්සකවරයා සඳහන් කළේය.

"ශීත තැන්වලදී තරඟ කරන කොට ශරීරයට අතිරේක විඩාවක් දැනෙනවා. ඒ වගේම නුවරඑලිය, පිදුරුතලාගල වගේ තැන්වල ශීත කාලගුණයක් යටතේ පුහුණුවීම් කලොත් එවැනි ශීත කාලගුණයක් පවතින ඇසෑම් වැනි ප්‍රදේශයකට ගිහාම දැනෙන මානසික කම්පනයත් අවම වෙනවා. ඒ වගේම තරඟවලට සහභාගී වීමට පෙර හොඳ නින්දක් ලබා ගැනීමත් අත්‍යවශ්‍යයි. ඒ සඳහා ශීතලෙන් මිදී ශරීරය හොදින් ආවරණය කර ගැනීම අත්‍යවශ්‍යයි. විශේෂයෙන් පාද ප්‍රදේශ," භෞතචිකිත්සක විශේෂඥ කුසල් කුමාර ගුණවර්ධන වැඩිදුරටත් කියා සිටියේය.

පෙබරවාරි මාසය වන විට ඇසෑමයේ පවතින ශීත කාලගුණය පහව යනු ඇති බව ඉන්දීය බලධාරීන්ගේ අදහස වී ඇති බැවින් ශීත කාලගුණය ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට අභියෝගයක් නොවනු ඇති බවයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර බීබීසී සංදේශයට කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර