තරඟ පවා දීම: නේපාල පාපන්දු ක්‍රීඩකයන් අධිකරණය හමුවට

Image copyright AFP
Image caption මෙම ක්‍රීඩකයන්ට මරණ දඬුවම ලබා දෙන ලෙස පැමිණිලිකාර පාර්ශවය ඉල්ලා සිටින අතර විත්තියේ නීතිවේදීහු එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරති.

තරඟ පාවා දුන් බවට චෝදනා ලැබූ නේපාල ජාතික පාපන්දු කණ්ඩායමේ හිටපු නායකයා සහ ගෝල රකින්නා ඇතුළු පාපන්දු ක්‍රීඩකයන් පස් දෙනෙක් කත්මණ්ඩු අධිකරණය හමුවේ පෙනී සිටිති.

ලෝක පාපන්දු කුසලානයට සහභාගී වීමට පෙර ඒ සඳහා සුදුසුකම් ලබා ගැනීමට පැවති තරඟ සිතා මතා පරාජයට පත් වූ බවට එම ක්‍රීඩකයන්ට චෝදනා එල්ල වේ.

ක්‍රීඩකයන් පස් දෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ ඔවුන් සතු බැංකු ගිණුම්වල අති විශාල මුදල් සම්භාරයක් ඇති බව විමර්ශකයන් විසින් සොයා ගනු ලැබීමත් සමගයි.

මෙම ක්‍රීඩකයන්ට මරණ දඬුවම ලබා දෙන ලෙස පැමිණිලිකාර පාර්ශවය ඉල්ලා සිටින අතර විත්තියේ නීතිවේදීහු එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරති.

නඩු විභාගය හෙට අඟහරුවාදාත් පැවැත්වීමට නියමිත අතර ක්‍රීඩකයන් තවදුරටත් රැඳවුම් භාරයේ තබා ගන්නේද නැතහොත් ඇප මත නිදහස් කරන්නේද යන්න එහිදී විනිසුරුවරයා විසින් තීන්දු කිරීමට නියමිතයි.