ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරනවා - තිලංග

අසාම් අමීන් - බීබීසී කොළඹ වාර්තාකරු

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට තමන් බලාපොරොත්තු වන බව ක්‍රිකට් ආයතනයේ නව සභාපති තිලංග සුමතිපාල පවසයි.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය හොබවන තිලංග සුමතිපාල ඒ බව කියා සිටියේ ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට තේරී පත්වීමෙන් අනතුරුව ක්‍රීඩා අමාත්‍යංශ පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනයකට ලක් කොට එම ආයතනය ප්‍රතිව්‍යුහ ගත කළ යුතු යැයි අගමැති රනිල් වික්‍රමසිංහ පැවසූ බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ක්‍රිකට් නිලවරණයට පෙර ප්‍රකාශ කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නව ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල ප්‍රකාශ කළේ ක්‍රීඩාව හා සම්බන්ධ නීතිවලට ගරු කරමින් ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා තමන් සුදානම් බවයි.

"ක්‍රීඩා නීතියට සමගාමිව ක්‍රිකට් ව්‍යවස්ථාව පැහැදිලිව වෙනස් කරන්න කටයුතු කරනවා. මේ සම්බන්ධයෙන් නොයෙකුත් අදහස් ඉදිරිපත් වෙලා තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යවරයා සමග සාකච්ඡා කොට ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නවා"

ප්‍රමුඛත්වය

ජාතික ක්‍රිකට් කණ්ඩායම පිළිබඳ සොයා බැලීම, කණ්ඩායමේ ක්‍රියාකාරිත්වය යහපත් මට්ටමක රඳා පවත්වා ගැනීම තම ප්‍රමුඛතම කාර්යයන් වනු ඇති බව ප්‍රකාශ කළ ක්‍රිකට් ආයතන නව සභාපති තිලංග සුමතිපාල වර්තමානයේ ජාතික කණ්ඩායම ක්‍රීඩා කරන්නේ නිත්‍ය පුහුණුකරුවෙකු පවා නොමැතිව බවයි සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහල නැංවීම සඳහා තමන් සමග එක් වෙන ලෙසත් නව සභාපතිවරයා සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේය.

තමන්ට ක්‍රිකට් නිලවරණයේ දී දේශපාලනික වශයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කිසිදු සහයක් ලබා නොදුන් බව ප්‍රකාශ කළ නව ඔහු මෙවර නිලවරණයට කිසිදු දේශපාලන බලපෑමක් එල්ල නොවූ බවයි සඳහන් කළේ.

මේ අතර නව ක්‍රිකට් කමිටුව ගනු ලබන යහපත් ක්‍රියා මාර්ගවලට සහාය ලබා දීමටත් ඔවුන්ගේ වැරදි පෙන්වා දීමටත් තමන් බලාපොරොත්තු වන බව අද ඉරිදා පැවති ක්‍රිකට් නිලවරණයෙන් පරාජයට පත් සභාපති ධුර අපේක්ෂක නිශාන්ත රණතුංග මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් පැවසීය.

මෙවර ක්‍රිකට් නිලවරණයේදී වැඩි අවධානය යොමු වූයේ 1996 වසරේ ලෝක කුසලානය ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කර දුන් ක්‍රිකට් කණ්ඩායමේ නායකයාව සිටි අමාත්‍ය අර්ජුන රණතුංග උපසභාපති ධුරය සඳහා තරග කොට පරාජයට පත් වීමයි.