ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

විනය විරෝධී චෝදනාවලට මැතිව්ස්ගෙන් ප්‍රතිචාර

අසාම් අමීන් - බීබීසී කොළඹ

නවසීලන්ත සංචාරයේදී කිසිදු ක්‍රීඩකයකු විනය විරෝධී කටයුත්තකට සම්බන්ධ වූයේ යැයි විශ්වාස නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් පවසයි.

ඔහු ඒ බව කියා සිටියේ කණ්‌ඩායමේ ඇතැම් සාමාජිකයන්, නවසීලන්තයේ පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන් විසින් සංවිධානය කරනු ලැබූ රාත්‍රී සාද සඳහා සහභාගී වී අලුයම් කාලය වන තෙක්‌ එහි රැඳී සිට ඇති බවට එල්ල වූ චෝදනාවලට ප්‍රතිචාර දක්වමින්.

නවසීලන්තය හා පැවති ටෙස්ට්, එක් දින සහ විස්සයි විස්ස තරගවලින් පරාජයට පත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අඟහරුවාදා (12) දිවයිනට ළඟා විය.

ක්‍රීඩකයන් දක්ෂතා අතරට නොපැමිණීම ශ්‍රී ලංකා පිළ පරාජයට පත් වීමට බලපෑ ප්‍රධාන හේතුවයි.

මේ අතර නවසීලන්තයේ සිටින ඇතැම් ශ්‍රී ලංකික ක්‍රීඩා ලෝලීන් චෝදනා කොට තිබුණේ ශ්‍රී ලංකික ක්‍රීඩකයන්ගේ විනය විරෝධී ක්‍රියා කලාපයත් පරාජයට පත් වීමට බලපෑ බවයි.

කණ්‌ඩායමේ ඇතැම් සාමාජිකයන්, නවසීලන්තයේ පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන් විසින් සංවිධානය කරනු ලැබූ රාත්‍රී සාද සඳහා සහභාගී වී අලුයම් කාලය වන තෙක්‌ එහි රැඳී සිට ඇති බවට ඉහත කී පිරිස් චෝදනා කරති.

'පරීක්ෂණයක්'

එම චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර අඟහරුවාදා නියෝග කොට තිබිණි.

අද (13) ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් නායක ඇන්ජෙලෝ මැතිව්ස් ප්‍රකාශ කළේ තමා දැනුවත්ව එවන් කිසිදු විනය විරෝධී ක්‍රියාවක් සිදු නොවූ බවයි.

තරගාවලියක් පරාජයට පත් වූ විට සාමාන්‍යයෙන් මෙවන් චෝදනා එල්ල වන බවයි නායක ඇන්ජෙලෝ මැතිව්ස් පෙන්වා දුන්නේ.

මේ පිළිබඳ කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ජෙරී වුස්ටස් ප්‍රකාශ කළේ එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා වාර්තාවක් ඉල්ලා ඇති බව ක්‍රිකට් ආයතනය විසින් තමා වෙත දන්වා ඇති බවයි.

ඒ අනුව එම වාර්තාව ඉදිරි දින කීපය ඇතුළත ලබා දීමට කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.

ඉහත කී වාර්තාව ලබා දෙන තෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන බවත් ඔහු පැවසීය.

ඉහත කී චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් තරග සංචාරයට එක් වූ කණ්ඩායමේ පුහුණුකරුවකුද බීබීසීයට කියා සිටියේ සංචාරය අතරතුර කිසිදු ක්‍රීඩකයකු කණ්ඩායමේ විනය නීති කඩ නොකළ බවයි.

'උරණ වෙලා'

තරග නොමැති දිනවල ක්‍රීඩකයන් නවසීලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරාධනා අනුව ඇතැම් සාදවලට සහභාගි වූ බව පැවසූ ඔහු ආරාධනා ලැබූ ඇතැම් සාදවලට ක්‍රීඩකයන් සහභාගී නොවීම හේතුවෙන් උරණ වූ ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙලෙස කණ්ඩායමට චෝදනා එල්ල කරන බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර තරගාවලි පරාජයට පත් වීම පිළිබඳ අදහස් දක්වමින් නායක ඇන්ජෙලෝ මැතිව්ස් කියා සිටියේ කණ්ඩායම කොතරම් හොදින් පුහුණුවීම් වල යෙදී ක්‍රීඩා කළ නමුත් අවසානයේ බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලබාගත නොහැකි වූ බවයි.

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු වීම් ඉදිරියේදී ආරම්භ කරන බවයි ඇන්ජෙලෝ මැතිව්ස් පැවසුවේ.

ඉන්දියාවේදී විස්සයි විස්ස ලෝක කුසලානය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන මාර්තු මාසයේදීයි.

ශ්‍රී ලංකා කණ්ඩායම පෙබරවාරි මාසයේදී ඉන්දීය කණ්ඩායම සමග විස්සයි විස්ස තරග 3කට සහභාගි වීමට නියමිතයි.

එම තරඟ ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව තිබේ.

ඉන් අනතුරුව බංගලාදේශයේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වීමට නියමතයි.