තරඟ පාවාදීම: ජයනන්ද වර්ණවීරට තෙවසරක තහනමක්

Image copyright Getty
Image caption 'ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගනු ලැබූ එම තීන්දුවත් බලපාන්න ඇති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලබා දුන් මේ වසරේ තුනේ තහනමට'

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය බාරව කටයුතු කරන ජයනන්ද වර්ණවීරගේ සේවය දූෂණ චෝදනා මත වසර තුනකට තහනම් කරන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය.

අයිසීසී ජගත් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී ඒකකය විසින් පවත්වන විමර්ශන කටයුතු සඳහා සහාය වීමට අසමත් වීම හේතුවෙන් ඔහුගේ සේවය තහනම් කරන බවයි, ජගත් පාලක මණ්ඩලය නිකුත්කළ නිවේදනයක දැක්වෙන්නේ.

තරඟ පවතින අතරවාරයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ විකට්ටුව පිළිබඳ තොරතුරු පිටතට ලබාදීම ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇති චෝදනාව බවයි, ඩේලි මිරර් පුවත්පතේ ක්‍රීඩා මාධ්‍යවේදී චම්පික ප්‍රනාන්දු බීබීසී සංදේශයට කියා සිටියේ.

එම චෝදනාවට අදාලව අයිසීසී ජගත් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී ඒකකය විසින් සිදු කරමින් පවතින විමර්ශන සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අවස්ථා දෙකකදී පෙනී නොසිටීම සහ එසේ පෙනී නොසිටීමට හේතු දැක්වීමට අපොහොසත්වීම ඔහුට තහනමක් පැනවීමට හේතුව බවද චම්පික ප්‍රනාන්දු සඳහන් කළේය.

'මුදල් කන්දරාවක්'

තරඟ පාවාදීම යටතට ගැනෙන පිටිය පිළිබඳ තොරතුරු පිටතට ලබාදීම කලක් මුළුල්ලේ කර ගෙන ගිය බවට ඇති වූ සැකය මත ජයනන්ද වර්ණවීරට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පරීක්ෂණ ආරම්භ කළ බවත් ක්‍රීඩා මාධ්‍යවේදී චම්පික ප්‍රනාන්දු කියා සිටියේය.

ඉහත කී චෝදනා සම්බන්ධයෙන් ජයනන්ද වර්ණවීරට එරෙහිව වසර දෙකක තරඟ තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී.

"ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගනු ලැබූ එම තීන්දුවත් බලපාන්න ඇති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලබා දුන් මේ වසරේ තුනේ තහනමට," ක්‍රීඩා මාධ්‍යවේදී චම්පික ප්‍රනාන්දු සඳහන් කළේය.

තරඟ පාවාදීමක් සිදු වී ඇත්නම් එයට ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ වී ඇත්දැයි සංදේශය විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ, ඒ සඳහා ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ වීමට ඇති අවස්ථාව ඉතා අල්ප බවයි.

"මොකද, තරඟ පාවා දීමේදී විශාල මුදල් කන්දරාවක් ඒ හා සම්බන්ධ වෙනවා. මෙය ඉන්දියාවෙන් හෝ පාකිස්තානයෙන් පැමිණි දෙයක් ලෙස තමයි බොහෝ විට විශ්වාස කරන්නේ," ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර