නව ක්‍රිකට් පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ්

Image copyright Getty Images
Image caption ග්‍රැහැම් ෆෝඩ් 2012 වසරේ කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කළ අවස්ථාවේ ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසාන මහා තරඟයට සුදුසුකම් ලැබීය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස ග්‍රැහැම් ෆෝඩ් පත්කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

2012 දීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස ක්‍රියා කළ ග්‍රැහැම් ෆෝඩ් ලබන සඳුදා සිට නව පදවියේ වැඩ භාරගන්නා අතර 2019 වසරේ එංගලන්තයේ පැවැත්වෙන ජගත් ක්‍රිකට් කුසලානය දක්වා එම පත්වීම බලපැවැත්වෙන බවත් නිවේදනයේ සඳහන්.

පසුගිය වසරේ ක්‍රිකට් අන්තර්වාර කමිටුව පත්කිරීමෙන් අනතුරුව කණ්ඩායමේ පුහුණුකරු ලෙස ක්‍රියා කළ මාවන් අතපත්තු ඉල්ලා අස් වූ අතර, ඉන්පසුව ජෙරොම් ජයරත්න කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු වශයෙන් කටයුතු කළේය.

Image caption මාවන් අතපත්තුගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව ජෙරොම් ජයරත්න තාවකාලික පුහුණුකරු වශයෙන් ක්‍රියා කළේය

මාවන් අතපත්තුගේ ඉල්ලා අස්වීමට ප්‍රථම වේග පන්දු පුහුණුකරු වූ චමින්ද වාස් ද ඉල්ලා අස් වූ අතර, තරඟ පාවාදීමේ චෝදනා ලැබූවකු පුහුණු සංචිතයට කැඳවා ගැනීමේ චෝදනා මත වේග පන්දු පුහුණුකරු අනූෂ සමරනායකද තාවකාලික වැඩ තහනමකට ලක් වී සිටී.

එමෙන්ම මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ සමුගැනීම හමුවේ කණ්ඩායමේ දක්ෂතාද බිඳ වැටී තිබෙන අවස්ථාවකයි, ග්‍රැහැම් ෆෝඩ් යළිත් පුහුණුකරු පදවියට පත් කෙරෙන්නේ.

2012 වසරේ කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කළ අවස්ථාවේ ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාවේ පැවැත්වුණු විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසාන මහා තරඟයට සුදුසුකම් ලැබූ අතර, ඊට පෙරාතුව ඔහු දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර