මහජනතාව පක්ෂය හදනවා මම බලා ගෙන ඉන්නවා - මහින්ද

Image copyright

තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමට අවශ්‍ය වී ඇත්තේ පක්ෂයේ වයසක අයට හා පරාජිතයන්ට බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය ගැන අද (19) කොළඹදී මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනුයි හිටපු ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේ.

‘විමල් වීරවංශලා මාව පන්නන්නේ නැහැ. මේක ඇතුළේ ඉන්න වයසක අයට හා පැරදිච්ච පුද්ගලයන්ටයි මාව පන්නන්න ඕන වෙලා තියෙන්නේ’ හිටපු ජනාධිපතිවරයා කියා සිටියි.

මේ වන විට හැත්තෑ හැවිරිදි වියේ පසු වෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ‘වයසක අය’ ලෙස යැයි හැඳින්වූයේ කවුරුන්ද යන්න පැහැදිලි නැත.

තවදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ‘ජනතාව නව පක්ෂයක් හැදීමේ උත්සාහයක නිරත වෙමින්’ සිටින බවයි.

‘මහ ජනතාව පක්ෂය හදනවා- මම බලා ගෙන ඉන්නවා- තාම ඒ කට්ටිය ඒක හදලා නැහැ- එයාල කියනවා හදනවා කියලා' මහින්ද රාජපක්ෂ පවසයි.

පක්ෂය කඩා ගෙන ගියේ තමා නොව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බව සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කළේ තමා බවයි’ කියා සිටියේ.

චන්ද්‍රිකා ප්‍රතිචාරය

මේ අතර අද ගම්පහ පැවති රැළියකදී හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය ගැන සිය අදහස් පළ කළාය.

පක්ෂය විනාශ කිරීමට බලා සිටින කණ්ඩායමක් සිටින බව සඳහන් කළ හිටපු ජනාධිපතිවරිය ‘මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුහුණ දෙන පළමු අර්බුදය නොවන බවත් අතීතයේ පක්ෂය මෙවැනි අවස්ථාවන්ට මුහුණ දී ඇති බවත්’ කියා සිටියාය.

‘සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පළවා හරිමින් පක්ෂය කඩන්න මහින්ද රාජපක්ෂ උත්සාහ කළා’ ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද මුහුණ දී ඇති ප්‍රශ්න ගත්විට ඒවා දේශපාලන පක්ෂ බොහෝ අවස්ථාවන්හි මුහුණ දෙන අභියෝග වන බවයි හිටපු ජනාධිපතිනිය පවසන්නේ.

එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තර්ජනයක් නැතැයි ප්‍රකාශ කළ ඇය එම පක්ෂය විනාශ කළ හැකි බලවේගයක් නොවන බවයි අවධාරණය කළේ.