රග්බි අනතුරු වලින් ක්‍රීඩකයන් බේරා ගැනීමේ උත්සාහයක්

Image copyright PA

බ්‍රිතාන්‍යයේ සහ අයර්ලන්තයේ පාසල්වල පැවැත්වෙන රගර් තරගවලදී පන්දුව ලබා ගැනීම සඳහා සිදු කරන ප්‍රතිවාදී ක්‍රීඩකයා බිමට ඇද දැමීම තහනම් කරන්නැයි වෛද්‍යවරුන් හැත්තෑ දෙනකුට අධික පිරිසක් මෙන් ම විද්වත්හු ද ඉල්ලා සිටිති.

එරට රජයේ ඇමතිවරුන් වෙත යොමු කරන ලද විවෘත ලිපියක් මඟින් ඔවුන් අවධාරණය කර සිටින්නේ 'නිරන්තර ගැටුම් සහිත' මෙම ක්‍රීඩාව මඟින් ක්‍රීඩකයන්ගේ ඉදිරි ජීවිත කාලය පුරාවට ම පවතින දැඩි බලපෑම් ඇතිවිය හැකි බවයි.

රග්බි ක්‍රීඩාව නිසා ඇති වන ආබාධවලින් තුනෙන් දෙකක් ම සිදු වන්නේ බිමට ඇද දැමීම් සහ ඇදවැටීම් නිසා බවටයි ඔවුන් තර්ක කරන්නේ.

මෙම අනතුරු වළක්වා ගැනීම පිණිස බිමට ඇද දැමීම වෙනුවට ස්පර්ශය සහ නොගැටීම පදනම් කර ගත් රග්බි ක්‍රීඩාවක් වෙත යොමු වීම වඩා ආරක්ෂාකාරී බවයි ඔවුන් පවසා සිටින්නේ.

Image copyright Getty

ක්‍රීඩාවේ වත්මන් ස්වරූපයට පක්ෂපාතී පිරිස් පවසන්නේ රග්බි ක්‍රීඩාව පෞර්ෂ වර්ධනයට සහ කායික මෙන්ම මානසික වර්ධනය සඳහා විශාල දායකත්වයක් සපයන බවයි.

බ්‍රිතාන්‍යයේ පාසල් සිසුන් දස ලක්ෂයක් දෙනා අතරේ රගර් ක්‍රීඩාව ප්‍රචලිත කිරීම සඳහා ක්‍රියාත්මක වන සත් අවුරුදු වැඩපිළිවෙළට සමගාමී ව සිදු කෙරුණු පර්යේෂණයක දී අනාවරණය වී ඇත්තේ රග්බි ක්‍රීඩාවේ යෙදෙන වයස අවුරුදු 18 න් පහළ දරුවන්ට රග්බි නිසා ඇතිවිය හැකි ආපදා අවදානම වැඩි බවයි.

දිගු කාලීන ආබාධ

එංගලන්තය, වේල්සය, ස්කොට්ලන්තය, උතුරු අයර්ලන්තයේ වෙසෙන දරුවන් මේ අවදානමට වැඩිපුර ගොදුරු විය හැකි බවයි මෙම ලිපිය ඉදිරිපත් කළ වෛද්‍ය අධිකාරීවරයන් සහ ළමා කටයුතු පිළිබඳ කොමසාරිස්වරයන් පෙන්වා දෙන්නේ.

වයස අවුරුදු 11 සිට එංගලන්තයේ බොහෝ පාසල්වල ශාරීරික අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස රග්බි ක්‍රීඩාව අනිවාර්ය කර තිබෙන අතර ද්විතීයික පාසල් බොහොමයක ද රග්බි ක්‍රීඩාව අනිවාර්ය කිරීම ක්‍රියාත්මක ව පවතියි.

Image copyright Getty

රග්බි ක්‍රීඩාව හේතුවෙන් හට ගන්නා ආබාධ සමහරක් කෙටි කාලීන ඒවා වන අතර ඇතැම් ආබාධ දිගු කාලීනව බලපැවැත්වෙන බවයි ලිපිය අවධාරණය කරන්නේ.

ඇතැම් ආබාධ ක්‍රීඩකයා ගේ දිවිය කෙළවර කරන්නට ද හේතු වී ඇති බවයි එහි තවදුරටත් සඳහන් වන්නේ.

අතපය බිඳීම්, උරහිස් පැනීම්, කොඳු නාරටියේ ආබාධ මෙන් ම හිස ඇතුළත මෙන් ම පිටත තුවාල ඇතිවීමට ද මේ තත්ත්වය බලපාන බවයි ඉන් පැවසෙන්නේ.

පසුකාලීන ව විශාදය, මතකය අහිමි වීම, කථන ආබාධ ඇතිවීම ආදිය කෙරෙහි බලපෑම් ඇති කිරීමට මෙම ආබාධ හේතු විය හැකි බවට ද තොරතුරු අනාවරණය කර ගෙන ඇති බවයි මෙම ලිපිය අවධාරණය කරන්නේ.

Image copyright Getty

මෙම විවෘත ලිපියට අත්සන් තැබූ ලන්ඩනයේ ක්වීන් මේරි සරසවියේ මහාචාර්ය ඇලිසන් පොලොක් රග්බි ක්‍රීඩාවේ අනතුරුදායක බව පිළිබඳ දීර්ඝකාලීන අධ්‍යයනයක නිරත වන්නියකි.

ඇය පවසන්නේ වසර 12 ක් තුළ තමන් අවුරුදු 18ත් 19ත් අතර වයසේ රග්බි ක්‍රීඩකයන් පිළිබඳ එක්රැස් කර ගත් සාධක අනුව ඔවුන් ගෙන් 28% කට තුවාල සිදුවීමට ඇති ඉඩකඩ වැඩි බවයි.

බිමට ඇද දැමීම හා පොර බැදීම වෙනුවට ස්පර්ශය සහ නොගැටීම පදනම් කර ගත් රග්බි ක්‍රීඩාව වඩාත් ජනප්‍රිය කරවීමට කටයුතු යෙදීම ඉහත කී අවදානම දුරු කර ගන්නට ඇති හොඳම විකල්පය ලෙසයි ඇය පෙන්වා දෙන්නේ.