කුමාර් සංගක්කාර තේරීම් කමිටුවට

Image copyright SLC

අරවින්ද ද සිල්වා ගේ සභාපතිත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කල බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන රොමේෂ් කලුවිතාරණ, රන්ජිත් මදුරුසිංහ හා ලලිත් කළුපෙරුම නව තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් වේ.

2016/2017 වසර දක්වා මෙම පත්වීම් සිදු කල බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

හිටපු තේරීම් කමිටුව නිසි තේරීම් ප්‍රතිපත්තියක් අනුගමනය නොකිරීම හා ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ලද පරාජයන් මෙලෙස නව තේරීම් කමිටුවක් පත්කිරීමට හේතුවූ බවයි ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස් කම්

නව තේරීම් කමිටුව ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස් කම් කිහිපයක්ම කිරීමට බලාපොරොත්තු වන බව වාර්තාවේ.

නායකත්වයෙන් ඉවත්වූ ලසිත් මාලිංග වෙනුවට එක්දින හා ටෙස්ට් නායක ඇන්ජලෝ මැතිව්ස් විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය භාර ගැනීමට නියමිත අතර පිතිකරණ අංශය ශක්තිමත් කිරීම සඳහා පිතිකරු ලහිරු තිරිමාන්න කණ්ඩායමට ඇතුලත් කිරීමට යෝජිත බවයි සඳහන් වන්නේ.

නව තේරීම් කමිටු සාමාජිකයන්වන කුමාර් සංගක්කාර හා අරවින්ද ද සිල්වා යන දෙදෙනාම ලහිරු තිරිමාන්න කණ්ඩායමේ සිටිය යුතුම ක්‍රීඩකයෙක් බව මින් පෙර ප්‍රකාශ කර තිබේ.

අබාධය සුවවීමේ බලාපොරොත්තුව මත ලසිත් මාලිංග කණ්ඩායමට ඇතුලත් කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකි අතර මාලිංග ඊයේ (සදුදා) බීබීසියට පැවසුවේ තමන්ගේ අබාධය ලෝක කුසලානයේ ශ්‍රී ලංකා පළමු තරගයට පෙර සුව වනු ඇතැයි තමන්ට විශ්වාස බවයි.

අද අඟහරුවාදා උදැසන 10ට නව තේරීම් කමිටුව පවත්වන මාධ්‍ය හමුවේදී කණ්ඩායමට සිදුවන වෙනස් කම් නිවේදනය කරනු ඇතැයි බලාපොරොත්තුවේ.

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රියේ ඉන්දියාව බලා පිටත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරඟය පැවැත්වෙන්නේ මාර්තු මස 17 වැනිදායි.