ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'සිංහයා නළලේ ගහ ගත්තොත් සිංහයාගේ ගෞරවය රැකෙන විදිහට ක්‍රීඩා කරන්න'

ක්‍රීඩකයන් අතර ප්‍රශ්න හා මතභේද තිබුනත් රට වෙනුවෙන් ක්‍රීඩා කරද්දී ඒවා අමතක කර කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා කැප විය යුතු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයකු හා හිටපු ජාත්‍යන්තර තරඟ තීරකයකු වන රොෂාන් මහානාම පවසයි.

ඔහු ඒ බව කියා සිටියේ විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් අතර මතභේද ඇති බවට පල වන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි.

වර්තමානයේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දී ඇති අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් රොෂාන් මහානාමගෙන් විමසා සිටියේ '1996 ලෝක කුසාලනය' ජයග්‍රහණය කොට (මාර්තු 17) වසර 20ක් සපිරීම නිමිත්තෙන් 19 වනදා පැවැත්වීමට නියමිත විශේෂ ක්‍රිකට් තරගයක් පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවකදී.

1996 ලෝක කුසලානය නියෝජනය කල කණ්ඩායමේ ක්‍රීඩකයන් අතරද ඇතැම් අවස්ථාවල මතභේද තිබු බව පැවසූ රොෂාන් මහානාම කෙසේ වෙතත් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ක්‍රීඩාංගණයට පිවිසි පසු ඒවා අමතක කර රට වෙනුවෙන් සියළු දෙනා ක්‍රීඩා කළ බවයි කියා සිටියේ.

''සිංහයා නළලේ ගහ ගත්තොත් සිංහයාගේ ගෞරවය රැකෙන විදිහට ක්‍රීඩා කරන්න කියල මම කියන්න කැමතියි, අපි ක්‍රීඩා කරද්දී අපි අතර මතභේද තිබ්බේ නැතුව නෙවෙයි. එත් ක්‍රීඩාංගණයට ගියාම අපි ඒ සියල්ල අමතක කරලා රට වෙනුවෙන් ක්‍රීඩා කළා''

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට තමා සදා ණය ගැති බව ප්‍රකාශ කල රොෂාන් මහානාම කෙසේ වෙතත් වර්තමානය වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සහාය දැක්වීමට සුදුසු වාතාවරණයක් නොමැති බවයි සඳහන් කළේ.

"අපිට වාතාවරණයක් තියෙනවද ඇවිල්ල උදව් කරන්න, මම නම් කිසිදාක ක්‍රිකට් ඡන්දෙකට එන්නේ නැහැ,''

කුමන ගැට‍ළු තිබුනත්, විස්සයි විස්ස ලෝක කුසලානයේ නියෝජනය කරන වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායම සියළු දෙනා එක්ව දිරිගැන්විය යුතු බවත් රොෂාන් මහානාම පෙන්වා දෙයි.