ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් යළි නගා සිටවන්නේ කෙසේද?

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වැටී ඇති තත්වයෙන් යළි නගා සිටවීමට නම් දීර්ඝකාලීන සැලැස්මක් සහිත ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් තීරණ ගත හැකි කමිටුවක් පත් කළ යුතු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු වන අරවින්ද ද සිල්වා පවසයි.

එකී කමිටුව, වරින්වර වෙනස් වන ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවශ්‍යතාව අනුව ප්‍රතිපත්ති වෙනස් නොකරන, වසර පහකවත් ඉදිරි දැක්මක් සහිත කමිටුවක් විය යුතු බවයි අරවින්ද ද සිල්වා පෙන්වා දෙන්නේ.

ඔහු ඒ බව කියා සිටියේ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග සමග අඟහරුවාදා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගැනීමට නම් වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැර ඒ සඳහා අතුරු පාලක කමිටුවක් පත් කළ යුතු බවයි හිටපු නායක අමාත්‍ය අර්ජුන රණතුංගගේ අදහස වී ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තුව වන බවත් සඳහන් කළේය.

එහිදී වත්මන් තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වාගෙන් බීබීසී සංදේශය විමසා සිටියේ හිටපු නායක අර්ජුන රණතුංග පවසන පරිදි වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැරීමෙන් ගැටලුවට විසඳුමක් ලැබේද යන්නයි.

ඒ සඳහා ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේ වැටී ඇති තත්වයෙන් ගොඩ ගැනීමට නම් ඉදිරි දැක්මක් සහිත, පාලක මණ්ඩල වෙනස් වුවාට වෙනස් නොවන, ක්‍රිකට් සම්බන්ධයෙන් නිවැරදි තීන්දු ගන්නා කමිටුවක් පත් කළ යුතුය යන්න තම අදහස බවයි.

සබැඳි විෂයයන්