වකුගඩු ජාවාරම: සැකකරු රැඳවුම් කඳවුරෙන් පළායයි

  • 2016 අප්‍රේල් 18
වකුගඩු Image copyright Getty Images
Image caption අත්අඩංගුවේ පසුවන සැකකරුවන් පවසන්නේ තමන් වකුගඩු පරිත්‍යාග කළ බවයි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සිදුවන නීතිවිරෝධී වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රදවා සිටි ඉන්දීය ජාතිකයින් අට දෙනාගෙන් එක අයෙකු වූ විජිතගිරි කුමාර් පලාගොස් ඇති බව පොලිසිය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

මෙම සැකකරුවන් අට දෙනා අධිකරණ නියෝග මත මිරිහානේ පිහිටි විශේෂ රවුම් කඳවුරේ රඳවා සිටියහ.

ඉන් එක් සැකකරුවකු පලාගොස් ඇති බවයි පොලිසිය අධිකරණයට දන්වා සිටියේ.

මෙහිදී පොලිසිය කල ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත් වරයා පලාගිය සැකකරු අත් අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කල අතර ඔහු රටින් පලා යාම වළකාලමින් ආගමන සහ විගමන පාලක වෙත නියෝගයක්ද නිකුත් කළේය.

මෙහිදී විත්ති පාර්ශවයේ නීතිවේදියා අධිකරණයට කියා සිටියේ මෙම පලා යාම සමග අනික් සැකකරුවන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව මෙම සැකකරුවන් වකුගඩු පරිත්‍යාග කිරීම සිදුකර ඇති බව කී විත්තියේ නීතිවේදී ලක්ෂාන් ඩයස් මෙරට පවත්නා නීතියට අනුව සැකකරුවන් ශ්‍රී ලංකාව තුළ වරදක් සිදුකර නොමැති බවයි කියා සිටියේ.

කෙසේ වෙතත් පොලිසිය කල ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරයා මෙරට පුද්ගලික රෝහල්වලදී මෙම සැකකරුවන්ගේ වකුගඩු ඉවත් කිරීම සදහා අවසර ලබාගත් නීත්‍යානුකූල ලේඛන තිබේ නම් ඒවා පොලිසිය වෙත භාර දෙන මෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ පුද්ගලික රෝහල් අධීක්ෂණ අංශයේ අධ්‍යක්ෂවරයා වෙත නියෝග කළේය.

අනතුරුව සෙසු සැකරුවන් හත් දෙනා ලබන 02 වනදා දක්වා රැදවුම් භාරයේ තැබීමට නියම කල අධිකරණය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන මෙන් පොලිසියට දැනුම් දුන්නේය.