'වකුගඩු ජාවාරම': ඉන්දීය සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

  • 2016 අප්‍රේල් 19
'වකුගඩු ජාවාරම' Image copyright Getty Images
Image caption සැකකරුවන්ට සැපයෙන ආරක්ෂාව පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි බවයි පොලිසිය අධිකරණය හමුවේ පැවසුවේ

''වකුගඩු ජාවාරම'' සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ජාතිකයන් හත් දෙනාගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය බන්ධනාගාර නිලධාරීන්ට නියම කළේය.

ඉහත කී සැකකරුවන් හත් දෙනා මිරිහාන විශේෂ රැඳවුම් කඳවුරේ රඳවා සිටි අතර ඉන් එක් සැකකරුවකු පළා ගොස් ඇති බව පොලිසිය අධිකරණය හමුවේ මීට ඉහතදී කියා සිටියේය.

ඒ හේතුවෙන් සැකකරුවන්ට සැපයෙන ආරක්ෂාව පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි බවයි පොලිසිය අධිකරණය හමුවේ පැවසුවේ.

අදාළ සැකකරුවන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට මාරු කරන ලෙසත් මීළඟ නඩු දිනයේදී බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය අදාළ සැකකරුවන් වහාම කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත මාරු කරන මෙන් නියෝග කළේය.

මීළඟ නඩු දිනයේදී සැකකරුවන් බන්ධනාගාර නිලධාරීන්ගේ මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කරන ලද නියෝගයේ සඳහන් වේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර