මහාචාර්ය මොහාන් මුණසිංහට තවත් ජාත්‍යන්තර සම්මානයක්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මහාචාර්ය මොහාන් මුණසිංහට තිරසර බලශක්ති ජාත්‍යන්තර සම්මානය

  • 2016 අප්‍රේල් 20

ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදයට විසඳුම තිරසර සංවර්ධන මූලෝපාය ක්‍රියා මාර්ගයන් අනුව කටයුතු කිරීම වන බව බලශක්ති විශේෂඥ මහාචාර්ය මොහාන් මුණසිංහ පවසයි.

වියානා නගරයේ ජාත්‍යන්තර බලශක්ති පදනම වෙතින් (Energy Globe Foundation) පසුගිය දා ජාත්‍යන්තර සම්මානයකින් පුද ලද මහාචාර්යවරයා බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමිනුයි එම අදහස පළ කළේ.

රටවල් සීයකට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වෙන ජාත්‍යන්තර බලශක්ති පදනම මහාචාර්ය මොහාන් මුණසිංහ වෙනුවෙන් සම්මානයක් පිරිනමා තිබෙන්නේ බලශක්තිය, දේශගුණ විපර්යාස හඳුනා ගැනීම සහ තිරසාර බලශක්ති සංවර්ධනය වෙනුවෙන් ඔහු විසින් ඉටු කරන ලද කාර්යභාරය වෙනුවෙනි.

ජාත්‍යන්තර බලශක්ති පදනම සම්මාන පිරිනැමීමේ දී සූර්ය තාපය සහ කුඩා ජල විදුලි බලාගාර මගින් නව උපක්‍රම භාවිතා කරමින් බල ශක්තිය නිපදවීම ආදී කරුණු සැලකිල්ලට ගන්නා බවයි මහාචාර්ය මුණසිංහ පවසන්නේ.

ඒ අනුව සිය ජීවිත කාලය තුළ බලශක්තිය, දේශගුණ විපර්යාස හඳුනා ගැනීම සහ තිරසාර බලශක්ති සංවර්ධනය වෙනුවෙන් ඉටු කරන ලද කාර්යභාරය වෙනුවෙන් එම පදනම තමා වෙත ඉහත කී ජගත් සම්මානය පිරිනමන ලද බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Image copyright Mohan Munasinghe
Image caption මහාචාර්ය මොහාන් මුණසිංහ

තිරසර සංවර්ධන ත්‍රිකෝණය

තිරසර බලශක්ති සංවර්ධනයේ දී ලාභය පදනම් කර ගත් විදුලි බල නිපැයුමක් පමණක් නොව එය සමාජයට බලපාන ආකාරය පිළිබඳවත් අවධානය යොමු කරන බවයි මහාචාර්ය මොහාන් මුණසිංහ පෙන්වා දෙන්නේ.

එසේම එය පරිසරයට බලපාන ආකාරයත් සැලකිල්ලට ගනු ලබන බව මහාචාර්යවරයා පවසයි.

මේ අනුව ආර්ථිකය සමාජය සහ පරිසරය පිළිබඳ ව සලකා බලන එම නව යොමු වීම 'තිරසර සංවර්ධන ත්‍රිකෝණය' යනුවෙන් හඳුන්වන බවයි මහාචාර්ය මොහාන් මුණසිංහ සඳහන් කළේ.

එම නව වැඩ පිළිවෙළ අනුව සමාජය නමැති සාධකය සැලකිල්ලට ගැනීමේ දී බල ශක්තිය සැපයෙන්නේ පොහොසත් අයට පමණක්ද? දුප්පත් ජනතාවටත් එම පහසුකම් ලැබෙන්නේද? යන කරුණු කෙරෙහිත් අවධානය යොමු කෙරෙන බව මහාචාර්ය මුණසිංහ පවසයි.

ශ්‍රී ලංකාවේ විදුලි බල අර්බුදයට විසඳුම් සෙවීමේ දී ගැඹුරු ප්‍රශ්න කීපයක් නිරාකරණය කර ගත යුතුව ඇති බවත් ඔහු සඳහන් කරයි.

මහාචාර්ය මොහාන් මුණසිංහ ශ්‍රී ලංකාවේ විදුලි බල අර්බුදයට ඇති විසඳුම් පිළිබඳවත් කරුණු දක්වමින් බීබීසී සිංහල සේවය සමඟ පැවැත්වූ සාකච්ඡාවට මෙම පිටුවෙන් සවන් දෙන්න.

දේශගුණ විපර්යාසයන් සහ තිරසර බල ශක්ති නිපැයුම වෙනුවෙන් ඉටු කරන ලද කාර්යභාරය වෙනුවෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ 2007 වසරේ නොබෙල් සාම ත්‍යාගයේ ද කොටස් කරුවකු විය.