අත්‍යවශ්‍ය සේවාවලට වැට් බදු වැඩි කිරීම 'බලපාන්නේ නැහැ'

  • 2016 අප්‍රේල් 20
වැට් බදු ඉහළ යෑම Image copyright Getty Images
Image caption 'ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර එකඟත්වයක් ඇති වුනා විදුලිය, ජලය වැනි අත්‍යවශ්‍ය සේවා සඳහා මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා'

වැට් බදු ඉහළ යෑම විදුලිය, ජලය ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා බලනොපාන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.

බදාදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ වැට් බදු වැඩි කිරීම පිළිබඳ වැරදි තොරතුරු සමාජ ගත වෙමින් පවතින බවයි.

ජනතාව මත බර පැටවෙන ආකාරයේ බදු පැනවීමක් කිසි විටෙක සිදු නොකරන බවත් එවන් බදු පැනවීමට යෝජනා කරන ආර්ථික විශේෂඥයන්ගේ සේවය රජයට අවශ්‍ය නොවන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගියදා අවධාරණය කළේය.

ජනපතිවරයාගේ ඉහත කී ප්‍රකාශයත් සමග යෝජිත වැට් බදු ඉහළ යෑමේ වෙනසක් සිදු විය හැකි බවට මත පළ විය.

කෙසේවෙතත් අත්‍යවශ්‍ය සේවා වැට් බදු සංශෝධනයෙන් නිදහස් සඳහා කෙරෙන බව අගමැතිවරයා මින් පෙර පාර්ලිමේන්තුවේදී පවසා තිබූ අතර ජනාධිපතිවරයාද ඒ සඳහා අවශ්‍ය නියෝග ලබා දුන් බවයි රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියේ.

අනෙකුත් භාණ්ඩ සහ සේවා සඳහා පෙර සැලසුම් කළ පරිදිම වැට් බදු සංශෝධනය ක්‍රියාත්මක වනු ඇති බවත් ඔහු එහිදී සඳහන් කළේය.

ජාත්‍යන්තරයේ බලපෑම්?

Image copyright Getty Images
Image caption මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන

'දැනට තියෙන රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 12% ක්. මේක 15% හා 20% අතරට ගෙනාවේ නැත්නම් අපට තියෙන වියදම් කළමනාකරණය කරන්න බැහැ. ඒකට තියෙන එකම විකල්පය වැට් බදු ඉහළ දැමීමයි'

ඒ හරහා අයවැය පරතරයද අඩු වන බව පෙන්වා දුන් මුදල් රාජ්‍ය අමත්‍යවරයා දැනට පවතින අයවැය පරතරය 2020 වසර වන විට 5.9% සිට 3.5% දක්වා අඩු කිරීමට රජය බලාපොරොත්තු වන බවයි සඳහන් කළේ.

'අවම වශයෙන් 3.5% කටවත් අයවැය පරතරය අඩු කර ගත්තේ නැත්නම් රටක් ලෙස ඉදිරියට යන්න බැහැ. මේක කළේ ලෝක බැංකුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීමකට නොවෙයි. අපේ අවශ්‍යතාවට අනුවයි'

ලෝක ආර්ථිකයේ බලපෑම මත රටට ආදායම ලබා දෙන තේ, රබර් කර්මාන්ත අංශවල ආදායම අඩුවීමද බදු ඉහළ දැමීම කෙරෙහි බලපා ඇති බවයි ලක්ෂ්මන් යාපා අබේවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

බීබීසී යෙන්