ෆෙඩරල් යෝජනාවට උතුරු පළාත් සභාවේ අනුමැතිය

  • 2016 අප්‍රේල් 22
Image caption මහ ඇමති විග්නේශ්වරන්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ දී සැලකිල්ලට ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානය විසින් රජයට ඉදිරිපත් කරනු ලැබීමට නියමිත කෙටුම්පතකට අද ( 22) උතුරු පළාත් සභාවේ අනුමැතිය ලැබුණි.

දෙමළ ජාතික සන්ධානය විසින් පත් කරණ ලද විශේෂ කමිටුවක් උතුරු පළාතේ සෑම දිස්ත්‍රික්කයකම රැස් වෙමින් මහජනතාවගේ හා විවිධ සංවිධානවල අදහස් විපරම් කිරීමෙන් අනතුරුවයි එම කෙටුම්පත සකස් කරන ලද්දේ.

උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කොට ෆෙඩරල් පාලන ක්‍රමයක් ස්ථාපිත කළ යුතු බවයි එම කෙටුම්පතේ දැක්වෙන්නේ.

ඊට අමතරව යුද්ධයෙන් විපතට පත් සෑම පාර්ශ්වයක් වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් කටයුතු කිරීම සඳහා වෙනම පාලන ඒකක පිහිටුවන ලෙසත් දෙමළ ජාතික සන්ධානයේ කෙටුම්පත රජයට යෝජනා කරයි.

යුද්ධයෙන් වැන්දඹු භාවයට පත් කාන්තාවන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් වෙනම ආයතනයක් පිහිටුවන අතරම ආබාධිතයින්,නිවාස අහිමිවූවන් වැනි පාර්ශ්ව වෙනුවෙන් වෙනම ආයතන පිහිටවිය යුතු බවටයි උදාහරණ වශයෙන් එම කෙටුම්පත යෝජනා කරන්නේ.

උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේශ්වරන් විසින් සභාගත කරන ලද කෙටුම්පත සම්බන්ධයෙන් පළාත් සභාවේ සෙසු මන්ත්‍රීවරුන් හා ඇමතිවරුන් විවිධ අදහස් පළ කළ බවයි බීබීසී ප්‍රාදේශීය වාර්තාකරු දිනසේන රතුගමගේ පවසන්නේ.

සිංහල විරෝධය

උතුරු පළාත් සභාවේ අනුමැතිය සඳහා අදාළ කෙටුම්පත ඉදිරිපත් කළ අවස්ථාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සිංහල ජාතික මන්ත්‍රීවරුන් වන වන්නිහාමිගේ ජයතිලක සහ ධර්මපාල සෙනෙවිරත්න යන දෙදෙනා පමණක් ඊට විරෝධය පළ කළහ.

උතුරු පළාත් සභාවේ විපක්ෂයට අයත් සෙසු දෙමළ ජාතික මන්ත්‍රීවරුන් සියලු දෙනාත් දෙමළ ජාතික සන්ධානය සමඟ කෙටුම්පතට පක්ෂව ඡන්දය දුන්හ.

පළාත් සභාව තුළ සම්මත වූ යෝජනාවලිය මේ මස 28 වෙනිදා දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්ෂ නායක ආර්.සම්බන්ධන් වෙත ඉදිරිපත් කළ යුතු බවට උතුරු පළාත් සභාව තීන්දු කර ඇත.

එහෙත් එම යෝජනාවට විරුද්ධ වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිංහල මන්ත්‍රීවරුන් දෙදෙනා කියා සිටියේ සම්මත වූ යෝජනාවලිය විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයාට නොව අගමැතිවරයා හෝ පාර්ලිමේන්තුවේ සභානායක වැනි අයකු වෙත යොමු කළ යුතු බවයි.