ජාතික විද්‍යා පීඨ: බඳවා ගැනීම් පිළිබඳ මැසිවිලි

  • 2016 අප්‍රේල් 23
විද්‍යා පීඨ Image copyright Getty Images
Image caption 'මෙච්චර කල් තෝරා ගත්තේ ලකුණු වැඩි ළමයි. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් තෝරා ගත් විට ලකුණු අඩු ළමයි ඉදිරියට යනවා, ලකුණු වැඩි ළමයි පහළට යනවා'

ජාතික විද්‍යා පීඨ සඳහා බඳවා ගැනීම් සිදු කිරීමේදී තමන්ට බලවත් අසාධාරණයක් සිදු වී ඇති බවට රට පුරා විසිරී සිටින පන්සීයකට ආසන්න සිසු සිසුවින් සහ ඔවුන්ගේ දෙමව්පියෝ මැසිවිලි නගති.

කොට්ඨාශ මට්ටමින් බඳවා ගැනීම් සිදු කිරීම නිසා දිස්ත්‍රික්කයේ ඉහළම ලකුණු ලබා ගත් අයදුම්කරුවන්ට අසාධාරණයක් වී ඇති බවයි ඉහත කී සිසු සිසුවියන් පෙන්වා දෙන්නේ.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටද පැමිණිලි කොට ඇති ඔවුන් ඉල්ලා සිටින්නේ විද්‍යා පීඨ සඳහා සිසුන් බඳවා ගැනීමේදී උසස් පෙළ ලකුණු සහ දිස්ත්‍රික් මට්ටම සැලකිල්ලට ගෙන බඳවා ගැනීම් සිදු කරන ලෙසයි.

'මෙච්චර කල් තෝරා ගත්තේ ලකුණු වැඩි ළමයි. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් තෝරා ගත් විට ලකුණු අඩු ළමයි ඉදිරියට යනවා, ලකුණු වැඩි ළමයි පහළට යනවා. ඒ නිසා ඒ ළමයිට වෙන්නේ අසාධාරණයක්. මේක අධ්‍යාපන බලධාරීන්ට තේරෙන්නේ නැද්ද කියන එක අපට ගැටළුවක්' එක් සිසුවියකගේ මවක් පැවසීය.

රට පුරා විද්‍යා පීඨ 17 ක් සඳහා සිසු සිසුවියන් 3700 ක් බඳවා ගැනීමේදී පැහැදිලි අසාධාරණයක් සිදු වී ඇති බවයි ලංකා ගුරු සංගමය කියා සිටියේ.

බඳවා ගැනීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට අධ්‍යාපන ඇමතිවරයා වහා කටයුතු කළ යුතු බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ප්‍රකාශ කළේ.

'ගැටළුවක් නැහැ'

අදාළ බඳවා ගැනීම් ගැසට් කළ අවස්ථාවේදී ඒ සඳහා අනුගමනය කරන කරන ක්‍රමවේදයේ ඇති ගැටලුකාරී තත්වය පිළිබඳ තම සංගමය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ට දැනුම් දුන් බවයි ඔහු කියා සිටියේ.

මේ පිළිබඳ කළ විමසීමකදී විද්‍යා පීඨ කොමසාරිස් එල්එම්ඩී ධර්මසේන සඳහන් කළේ අදාළ ක්‍රමවේදය සම්බන්ධයෙන් ගැටළුවක් නොමැති බවයි.

කොට්ඨාශ මට්ටමෙන් සිදු කරන බඳවා ගැනීම් නිසා අදාළ පුරප්පාඩුවලට එම කොට්ඨාශවලින්ම බඳවා ගැනීම් සිදු කළ හැකි බවත් නැතිනම් දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරවලට ඔබ්බෙන් පිහිටි ග්‍රාමීය පෙදෙස්වලට නොයා නගරයේ පාසල්වලට පමණක් පත්වීම් ලාභීන් කොටු වන බවත් ඔහු සඳහන් කළේය.

නගරයට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල පිහිටි පාසල් සඳහා ගුරුවරුන් සොයා ගැනීම ශ්‍රී ලංකාවට පමණක් නොව බ්‍රිතාන්‍යයට පවා ගැටළුවක් වී ඇති බව තමා ඇතුළු කණ්ඩායමක් මෑතකදී එහි සිදු කළ සංචාරයකදී පෙනී ගිය බවයි විද්‍යා පීඨ කොමසාරිස් එල්එම්ඩී ධර්මසේන වැඩිදුරටත් කියා සිටියේ.