වී මිල පාලනයට මැදිහත් වෙන්න බෑ - අධිකරණය

  • 2016 අප්‍රේල් 26
රත්නපුරයේ පැවති ගොවි උද්ඝෝෂණයක්
Image caption වී මිලදී ගැනීමේ නීතිය ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලා සිටිමින් ගොවි සංවිධාන රටපුරාම උද්ඝෝෂණවල නිරතව සිටිති

වී මිල තීරණය කිරීමේ ක්‍රියාදාමයට අධිකරණයට මැදිහත් විය නොහැකි බව අභියාචනාධිකරණය තීන්දු කළේය.

අභියාචනාධිකරණය එම තීන්දුව ප්‍රකාශයට පත් කළේ වී සඳහා ස්ථාවර මිලක් නියම කරන්නැයි රජයට නියෝග පනවන මෙන් ඉල්ලා සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ඉදිරිපත් කර තිබුණු පෙත්සමක් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරමින්.

කෙසේ නමුත් එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න පැවසීය.

වී අලෙවි මණ්ඩල පනත යටතේ වී සඳහා ස්ථාවර මිලක් නියම කිරීමේ බලය රජය වෙත පැවරී ඇති බවයි, පෙත්සම්කරුවන්ගේ තර්කය වී තිබෙන්නේ.

Image caption වී සඳහා ස්ථාවර මිලක් නියම කිරීමේ බලය රජය වෙත පැවරී ඇති බව ගොවි නියෝජිතයෝ පවසති

එහෙත් රජය එම ක්‍රියාවලියෙන් බැහැර වී සිටීම නිසා වී ගොවීන්ට තම අස්වනු සඳහා සාධාරණ මිලක් ලබාගැනීමට නොහැකි තත්වයක් උද්ගතව තිබෙන බවට පෙත්සම්කරුවෝ චෝදනා කරති.

මේ හේතුවෙන් පනත ප්‍රකාරව වී සඳහා ස්ථාවර මිලක් නියම කරන මෙන් රජයට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

කෙසේ නමුත් පෙත්සම දීර්ඝ ලෙසින් සලකා බැලූ අධිකරණයේ තීන්දුව වූයේ විභාග කිරීමට තරම් සාධාරණ නීතිමය පදනමක් එහි නොමැති බවයි.

බීබීසී යෙන්