චීන මානව හිමිකම් ක්‍රියාධර හැරී වූ දිවියෙන් සමු ගනී

  • 2016 අප්‍රේල් 27
Image caption මානව හිමිකම් ක්‍රියාධර හැරී වූ

චීනයේ මානව හිමිකම් සම්බන්ධයෙන් හඬක් නගමින් සිටි මානව හිමිකම් ක්‍රියාධරයකු වූ හැරී වූ (Harry Wu) දිවියෙන් සමු ගත්තේය.

චීනයේ දේශපාලන සිර කඳවුරු වල පැවති තත්වය ලෝකයට හෙළිදරව් කළ හැත්තෑ නව හැවිරිදි හැරී වූ හොන්ඩුරාස් හි නිවාඩුවක් ගත කරමින් සිටියදීයි මරණයට පත් වුණේ.

ෂැන්හයි නගරයේ දී උපත ලද හැරී වූ සිය ශිෂ්‍ය අවධියේ 1949 චීන විප්ලවයෙන් අනතුරුව මාවෝ සේතුං පාලන සමයේ එවකට චීනයේ 'සහෝදර කොමියුනිස්ට් රාජ්‍යයක්' වූ සෝවියට් දේශය විවේචනයට ලක් කරනු ලැබීම සම්බන්ධයෙන් වසර දහනවයක් සඳහා 'ලඕගෙආයි'(laogai) නමින් හැඳින්වුන ශ්‍රම කඳවුරක සිරගත කරනු ලැබුණි.

1979 වසරේ නිදහස ලද හැරී වූ 1985 වසරේ ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ අතර 1992 දී 'ලඕගෙආයි පර්යේෂණ පදනම' පිහිටුවා ගනිමින් චීන ශ්‍රම කඳවුරු වල තත්වය පිළිබඳව පර්යේෂණ ආරම්භ කළේය.

බුද්ධිමතුන් සහ දේශපාලන සිරකරුවන් රඳවනු ලබන 'ලඕගෙආයි' ශ්‍රම කඳවුරු වල පවතින ඉතාම දරුණු තත්වය විස්තර කරන හැරී වූ තමාට ගොවිපොළවල ගල් අඟුරු ආකරවල හෝ වෙනත් වැඩබිම්වල ශ්‍රමය වැය කරමින් විවිධ ශ්‍රම කඳවුරු දොළහක ඉතාම අසීරු දඬුවම් කාලයක් ගෙවීමට සිදු වූ බවයි ඔහුගේ ජීවන චරිතයේ ලියා තිබෙන්නේ.

ඇමෙරිකානු පුරවැසිභාවය ලැබීමෙන් අනතුරුව 1995 වසරේ ඔහු සංචාරයක් සඳහා චීනයට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගන්නා ලද අතර වසර පහළොවක සිර දඬුවමකට යටත් කෙරුණි.

එහෙත් ජාත්‍යන්තර බලපෑම හමුවේ හැරී වූ යලි ඇමෙරිකාවට පිටුවහල් කිරීමට චීන පාලනයට සිදු විය.