විපක්ෂ නායකවරයා අගමැති හමුවෙයි
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'හමුදාව බලහත්කාරයෙන් ඉඩම් අල්ලා ගෙන' - අගමැතිට පැමිණිල්ලක්

  • 2016 අප්‍රේල් 27

කිලිනොච්චිය පරෙවිපච්චාන් ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන්ගේ ඉඩම් හමුදාව විසින් බලහත්කාරයෙන් කිසිදු නිත්‍යානුකුල අවසරයකින් තොරව අත්පත්කර ගැනීම පිළිබඳව විපක්ෂනායක ආර් සම්බන්ධන් අද උදසන අගමැති රනිල් වික්‍රමසිංහට පැමිණිලි කර ඇත.

අගමැතිවරයා හා විපක්ෂනායකවරයා අතර අද උදසන අරලිය ගහ මැදුරේ පැවති විශේෂ හමුවකදී මෙම පැමිණිල්ල සිදු කළ බවයි දෙමල ජාතික සන්ධාන මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් පැවසුවේ

හමුදා කඳවුරකට බලහත්කාරයෙන් කඩා වැදුණු බවට විපක්ෂනායක ආර් සම්බන්ධන්ට චෝදනා එල්ලවෙමින් පවතින විටදීයි ඔහු මෙලෙස අද උදැසන අගමැති රනිල් වික්‍රමසිංහ හමුවී තිබෙන්නේ.

පුද්ගලික ඉඩම්

මෙහිදී විපක්ෂනායකවරයා තමන් ගිය ප්‍රදේශය කිසිසේත්ම රජයට හෝ හමුදාවට අයිති එක්ක නොව පුද්ගලික ඉඩම් සහිත ප්‍රදේශයක් බව අගමැතිවරයාට පෙන්වාදුන් බවයි හමුවට එක්වූ දෙමල ජාතික සන්ධාන මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසුවේ.

'අපි අගමැතිතුමාට පැමිණිලි කළා මෙම ඉඩම්වල හමුදාව රැදී සිටින්නේ නීත්‍යානුකූලව නොවන බව, පුද්ගලික ඉඩම්වල ඒ ජනතාවට පදිංචිවීමට ඉඩ නොදී හමුදාව බලෙන් ඉන්නවා, ඒ ගැන හොයල බලන්න අගමැතිතුමා වාර්තාවක් කැඳවනවා කියල කිව්වා' යනුවෙන් ඔහු පැවසීය.

හමුදා කඳවුරකට බලෙන් ඇතුළුවූ බවට නැගෙන චෝදනාව ගැන අගමැතිවරයා යමක් පැවසුවාදයි බීබීසීය විමසුවිට සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසුවේ විපක්ෂනායකවරයා එසේ බලහත්කාරයෙන් තැනකට ඇතුළු වන ආකාරයේ පුද්ගලයෙක් නොවන බව අගමැතිවරයා දන්නා බවයි.

'ඒක ගැන අගමැතිතුමා මොකවත් ඇහුවේ නැහැ, කවුරුත් දන්නවා සම්බන්ධන් මහත්තයා එහෙම කෙනෙක් නෙවෙයි කියලා, එතුමා එහෙම බලහත්කාරකම් කරන එක්කෙනෙක් නෙවයි කියල අගමැතිතුමා වගේම මාධ්‍යවල අයත් දන්නවා' යනුවෙනුයි ඔහු පැවසුවේ.

ඉල්ලීමක් මත

විපක්ෂනායකවරයා ඇතළු පිරිස මෙලෙස නිවාස අහිමිවී ඇති පිරිසගේ ඉල්ලීමක් මත එම ප්‍රදේශයට ගිය බව පැවසූ දෙමල ජාතික සන්ධාන මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් එම ප්‍රදේශට ඇතුළු වන ස්ථානයේ තිබු මාර්ග බාධකය ඉවත්කර ඔවුනට ඇතුළුවීමට හමුදාව ඉඩ ලබාදුන් බවයි සඳහන් කළේ.

'අද අපි අරලියගහ මන්දිරයට ගියා, එතනට අපේ වාහන යනකොට ගේට්ටුව ඇරියා, දැන් එකටත් ඔබතුමාලා කියනවද බලහත්කාරයෙන් අතුලුවුනා කියලා' යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය.

හමුදාවට මෙම ඉඩම් අවශ්‍යනම් නීත්‍යනුකූලව පවරාගැනීමක් සිදුකල යුතු බව පෙනවාදුන් මන්ත්‍රීවරයා එසේ නොමතිව ඔවුන්ට ඒවා බලහත්කාරයෙන් අත්පත් කර ගත නොහැකි බවයි පෙන්වාදුන්නේ.

එම ප්‍රදේශයට ඇතුළුවීමේදී අවසරයක් ලබා නොගත්තේ මන්දැයි මාධ්‍යවේදියකු විමසු විට මන්ත්‍රීවරයා පැවසුවේ එම ප්‍රදේශයට ඇතුළුවීමේදී අවසරයක් නොඉල්ලූ බවයි.

මේ අතර විපක්ෂනායකවරයා අත්අඩංගුවට ගත යුතු බව පවසමින් අද උදැසන සුළු පක්ෂ නායකයන් කිහිපදෙනෙකු විපක්ෂනායක කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වුහ. මේ සම්බන්ධයෙන් ද මාධ්‍ය හමුවේ දී අවධානය යොමු වී තිබුණි.

"5 දෙනෙක්ද 7 දෙනෙක්ද හිටියනේ, ඒගොල්ලෝ පරීක්ෂණයක් ඉල්ලනවනම් අපිත් කියන්නේ කරන්න කියලා, නීත්‍යනුකූලව නොවන විදිහට හමුදාව ඉන්න එක ගැන' යනුවෙන් පැවසූ ඔහු

දකුණේ ඇතැම් මාධ්‍ය මෙම සිදුවීම ගැන වැරදි වාර්තා පළකරමින් සිටින බවයි පෙන්වාදුන්නේ.