පළාත් පාලන ඡන්ද කල්දැමීම 'ඡන්ද අයිතියට බලපෑමක්'

  • 2016 අප්‍රේල් 29
Image copyright Sudath
Image caption හිටපු පළාත් පාලන ප්‍රධානීන් පිරිසක් ඉදිරිපත් කල පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමිනුයි අග විනිසුරු කේ.ශ්‍රී පවන් මේ බව ප්‍රකාශ කළේ.

පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීම තුළින් ජනතාවගේ සර්වජන ඡන්ද අයිතියට බලපෑමක් එල්ල වන බව අග විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

කල් දමා තිබෙන පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන මෙන් මැතිවරණ කොමිසමට නියෝග පනවන්නැයි ඉල්ලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පළාත් පාලන ප්‍රධානීන් පිරිසක් ඉදිරිපත් කල පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමිනුයි අග විනිසුරු කේ.ශ්‍රී පවන් මේ බව ප්‍රකාශ කළේ.

පෙත්සමට විරෝධතා ඉදිරිපත් කරමින් නීතිපතිවරයා කියා සිටියේ පළාත් පාලන ආයතන වල සීමා නිර්ණය කටයුතු අවසන් වන තෙක් අදාළ ඡන්ද විමසීම් පැවැත්වීමට හැකියාවක් නොමැති බවයි.

සීමා නිර්ණය අවසන් වන තුරු මැතිවරණ කල් දැමිය යුතු බව දැක්වෙන කිසිදු නීතියක් නොමැති බව කියා සිටි පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදියෙකු වන උදය ගම්මන්පිල ඡන්ද විමසීම කල් දැමීම තුළින් මැතිවරණ කොමිසම ජනතාවගේ ඡන්ද අයිතිය කප්පාදු කරමින් සිටින බව චෝදනා කර තිබුණි

කෙසේ වෙතත් ඉදිරිපත් වු කරුණු සලකා බැලූ අග විනිසුරු ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල කියා සිටියේ මෙය ජනතා පරමාධිපත්‍යය හා බැඳුණු කරුණක් බැවින් ඒ පිලිබඳ විභාගයක් පැවැත්වීම අවශ්‍ය බවයි.

ඒ අනුව පෙත්සම් ජුලි මස 08 වනදා විභාගයට ගැනීමට තීන්දු කළ අධිකරණය එදිනට පෙර විරෝධතා ඇත්නම් ඉදිරිපත් කරන මෙන් මැතිවරණ කොමිසමට නියම කළේය.

බීබීසී යෙන්