සම්බන්ධන් ඇතුල් වුනේ මහජනතාවගේ ඉඩම්වලට - අගමැති
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සම්බන්ධන් ඇතුල් වුනේ මහජනතාවගේ ඉඩම්වලට - අගමැති

  • 2016 අප්‍රේල් 30

වර්තමානයේ රට තුළ පවතින මාධ්‍ය නිදහසට විශාලම තර්ජනය එල්ල වන්නේද මාධ්‍ය වෙතින්ම බව අග්‍රාම්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අගමැතිවරයා ඒ බව කියා සිටියේ ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදයේ විසි වන සංවත්සර උළෙල අමතමිනුයි.

අන්තවාදී අදහස් පරාජය කොට සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන් එක්ව රට තුළ ස්ථාපිත කළ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා මාධ්‍ය වෙත විශාල වගකීමක් පැවරෙන බවයි අගමැතිවරයා එහිදී අවධාරණය කළේ.

කෙසේ නමුත් ඇතැම් මාධ්‍ය ආයතන එම වගකීම ඉටු නොකරන බව පවසන අගමැතිවරයා එවැනි මාධ්‍ය ආයතන දැඩි දෝෂ දර්ශනයට ලක් කළේය.

පසුගියදා විපක්ෂ නායක ආර් සම්බන්ධන් කිලිනොච්චියේ හමුදා කඳවුරකට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට එල්ල වන චෝදනා පිළිබඳ අදහස් දක්වමින් අගමැතිවරයා කියා සිටියේ අදාළ ප්‍රදේශයේ පිහිටි සාමාන්‍ය ජනතාවට අයත් ඉඩම්වලට විපක්ෂ නායකවරයා ගොස් ඇති බව තමන්ට හමුදාපතිගෙන් දැන ගැනීමට ලැබුණු බවයි.

ඒකාබද්ධ විපක්‍ෂය

මේ අතර ඒකාබද්ධ විපක්‍ෂය යන නම භාවිත කිරීම වාරණය කිරීමේ හා පාලනය කිරීමේ අභිලාෂයක් රජය සතුව නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන්.

'රජය අඩු තරමින් මේ සම්බන්ධව අවධානය යොමු කර හෝ සාකච්ඡා කොට හෝ නොමැත.' එම නිවේදනයේ සඳහන් වේ.

එවන් වාතාවරණයක් තුළ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ජනමාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තීරණය කොට ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

ඒ අනුව මැයි 02 වනදා පෙරවරුවේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ අමාත්‍යංශ ලේකම්වරයා සමග අග්‍රාමාත්‍යවරයා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ.