මාධ්‍ය නිදහස: ආණ්ඩුව සටන් කරනවා මාධ්‍ය එපා කියනවා - අගමැති
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මාධ්‍ය නිදහස: ආණ්ඩුව සටන් කරනවා මාධ්‍ය එපා කියනවා - අගමැති

මාධ්‍ය නිදහස තහවුරු කරනු වස් ආණ්ඩුවේ ඇති කැපවීම මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතනවලට ඇති බවක් ඔවුන්ගේ ක්‍රියාකලාපය හරහා පෙනෙන්නට නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනතාවට වගකියන මාධ්‍ය ක්ෂේත්‍රයක් උදෙසා ශ්‍රී ලංකා ජනමාධ්‍ය ක්ෂේත්‍රය හා වෘත්තීය නගා සිටවීමට නිර්දේශ 101 ඇතුළත් සැලැස්මක් අද අඟහරුවාදා මාධ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා ලේකම් කාර්යාලය විසින් එළිදක්වනු ලැබිණ.

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනයට සමගාමීව කොළඹදී පැවති එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ මාධ්‍ය නිදහස තහවුරු කිරීමට ක්ෂේත්‍රය තුළ පවතින උවමනාව සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් පවතින බවයි.

'දැන් වෙලා තියෙන්නේ මාධ්‍ය නිදහසට සටන් කරන්නේ අපි, මාධ්‍ය නිදහස එපා කියන්නේ මාධ්‍ය.'

තමන්ගේ වෘත්තීය සගයකු වූ අතුරුදහන් වී සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ වෙනුවෙන් පෙනී නොසිටින මාධ්‍යත් සමග එහි නිදහස සම්බන්ධයෙන් කතා කිරීමට ඇත්තේ කුමක්දැයි අගමැතිවරයා ප්‍රශ්න කළේය.

වසර 13 කට ඉහතදී තමන් විසින් ගෙන ඒමට උත්සහ කළ තොරතුරු දැන ගැනීමේ පනත යළි ගෙන ඒමට හැකි වීම පිළිබඳ සතුටු වන බවද අගමැතිවරයා පැවසීය.

අඩුපාඩු ඇතත් මාධ්‍ය නිදහස උදෙසා වත්මන් ආණ්ඩුව තම කාර්යභාරය ඉටු කර ඇති බව කියා සිටි අගමැතිවරයා නව ව්‍යවස්ථාවක් සැකසීමේදී මූලික මාධ්‍ය නිදහස තව දුරටත් ශක්තිමත් වනු ඇති බවයි සඳහන් කළේ.

උත්සවය ඇමතූ විපක්ෂ නායක ආර් සම්බන්ධන් පසුගිය කාලයේ සිදු වූ මාධ්‍යවේදීන්ගේ ඝාතන පිළිබඳ පරීක්ෂණ පවත්වා වරදකරුවන්ට දඬුවම් ලබා දෙන ලෙස ඉලා සිටියේය.