රංගේ බණ්ඩාර උසාවියේ පිටුපස දොරටුවෙන් පිටව යයි

Image caption රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාර

පුද්ගලයෙකුගෙන් මුදල් ලබාගෙන විශ්වාසය කඩ කරන ලද බවට චෝදනා ලබන නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාරට අධි චෝදනා භාර දුන් කොළඹ මහාධිකරණය ඔහුගේ ඇඟිලි සලකුණු ලබා ගනිමින් වාර්තාවක් කැඳවන මෙන් නියෝග කළේය.

නඩු විභාගය අවසන් වීමෙන් පසුව විත්තිකාර පාලිත රංගේ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යවේදීන් මග හරිමින් මහාධිකරණ සංකීර්ණයේ පිටුපස දොරටුවෙන් පිට වී ගිය බවයි වාර්තාකරුවන් පවසන්නේ.

සිය සුඛෝපභෝගී මෝටර් රථයේ බලපත්‍රය වසර පහකින් පසුව එක්තරා පුද්ගලයකුට පවරා දෙන බවට පොරොන්දු වී ඔහුගෙන් රුපියල් ලක්ෂ පනස් හතරක මුදලක් ලබා ගෙන එම පොරොන්දුව ඉටු නොකිරීම මගින් විශ්වාසය කඩ කර ඇති බවටයි පාලිත රංගේ බණ්ඩාර රාජ්‍ය ඇමතිවරයාට එරෙහිව නීතිපතිවරයා චෝදනා ඉදිරිපත් කර තිබෙන්නේ.

එම චෝදනා පත්‍රය අද (04) විත්තිකාර රාජ්‍ය ඇමතිවරයාට භාර දීමෙන් පසුව නඩු විභාගය සැප්තැම්බර් මස 06 වනදා පැවැත්වීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

විත්තිකාර පාලිත රංගේ බණ්ඩාර රාජ්‍ය ඇමතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිවේදියා කියා සිටියේ විත්තිකරුගෙන් පලි ගැනීමේ චේතනාවෙන් මෙම නඩුව පසුගිය පාලන සමයේ ඉදිරිපත් කරණ ලද්දක් වන බවයි.

එබැවින් අදාළ නඩුව ඉවත් කර ගන්නා මෙන් නීතිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවත් විත්තියේ නීතිවේදියා ප්‍රකාශ කියා සිටියේය.