දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධන්ගෙන් පණිවුඩයක්

විපක්ෂනායක ආර් සම්බන්ධන් Image copyright Getty Images
Image caption 'අපේ අය උනත් පැහැදිලි අවබෝධයක් නැතිව, ආත්මාර්ථකාමීව දේශපාලන වාසි උදෙසා කටයුතු කරනවා.'

උතුරු සහ නැගෙනහිර පළාත්වල සංවර්ධන කටයුතුවලදී ඊට හවුල් වන ලෙස විපක්ෂනායක ආර් සම්බන්ධන් දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලා සිටියි.

විපක්ෂ නායකවරයා ඒ බව කියා සිටියේ ඕස්ට්‍රේලියාවේ දෙමළ ඩයස්පෝරාවේ ආධාර මත ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තෙන්නමරවාඩි ප්‍රදේශයේ ඉදි කරන ලද ප්‍රජා මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වෙමිනි.

ත්‍රිකුණාමලය ඇතුළු උතුරු සහ නැගෙනහිරෙ ඇතැම් ප්‍රදේශවල මහා පරිමාණයේ සංවර්ධන සැලසුම් තරුණයන්ට රැකියා සම්පාදනය සඳහා උපයෝගී කර ගත හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

'සිංගප්පූරුවේ විශේෂඥයන් එම සංවර්ධන සැලසුම් සම්බන්ධව විශේෂ උනන්දුවක් දක්වනවා. සැලසුම් සකස් කරමින් සිටිනවා. මේ වසරේ අවසානයට පෙර එය ඉදිරි පත් කරනු ඇතැයි අපේක්ෂා කරනවා. මේ වැනි කටයුතු වල දී දමිල ඩයස්පෝරාවත් ශ්‍රී ලංකාවේ ආයෝජනය කර, කර්මාන්ත ශාලා ඇති කර තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබා දීමට දායක වෙන්න ඕන.' විපක්ෂ නායකවරයා පැවසීය.

රට මුහුණ දී සිටින ආර්ථික අගාධයෙන් ගොඩ ඒම සඳහා දේශපාලන විසඳුමක් අත්‍යවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

'දේශපාලන විසඳුම අපට පමණක්ම නොවෙයි මුළු රටටම අවශ්‍යයි. මේ රට ණය බරෙන් බේරා ගැනීම සඳහා දේශපාලන විසඳුම් අත්‍යවශ්‍යයි. ද්වේශ සහගත ඇතැම් පාර්ශව එය අවුල් කරන්න උත්සහ කරනවා. අපේ අය උනත් පැහැදිලි අවබෝධයක් නැතිව, ආත්මාර්ථකාමීව දේශපාලන වාසි උදෙසා කටයුතු කරනවා.' විපක්ෂනායක ආර් සම්බන්ධන් වැඩිදුරටත් කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර