හර්ෂ ද සිල්වා
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

විදේශ රැකියා ඒජන්සි මාෆියාව කුඩු කරනවා - ඇමති හර්ෂ

ශ්‍රී ලංකාවේ විදේශ රැකියා ක්ෂේත්‍රය තුල සිටින රැකියා ඒජන්සිකරුවන්ගේ මාෆියාව අවසන් කිරීමට කාලය එළඹ ඇතැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මුහුණ දෙන ගැටළු සාකච්ඡා කිරීම පිණිස සවුදි අරාබියේ නිල සංචාරයක නියැළීමෙන් අනතුරුව බීබීසී කොළඹ වාර්තාකරු අසාම් අමින් සමග සාකච්ඡාවකට එක්වෙමින්.

"මම සවුදි රජයේ වගකිවයුතු ඉහළ නායකයන්ට ලංකාවේ ශ්‍රමිකයන් මුහුණ දෙන ගැටළු ඉදිරිපත් කළා. මේ ප්‍රශ්න විසඳන්න අළුත් ක්‍රමවේදයක් අවශ්‍යයි කියන තැන මම හිටියේ. ඒ සාකච්ඡා සාර්ථකයි," ඔහු පැවසීය.

ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන ගැටළු පිළිබඳව සවුදි බලධාරීන්ගේ මතය කුමක්දැයි විමසූ විට නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ දෙරටේම සිටින අතරමැදි වංචාකරුවන් හේතුවෙන් බොහෝ ගැටළු ඇතිවන බව ඔවුන්ගේද මතය වූ බවයි.

'හෙණ ගහන අපරාධ'

"ඔවුනුත් පිලිගන්නවා දෙපැත්තේම වංචා කාරයෝ ඉන්නවා කියලා. එහෙන් ගෙන්වන වංචා කාරයොත් ඉන්නවා, මෙහෙන් අරින වංචා කාරයොත් ඉන්නවා. මේ වංචාකාරයෝ සල්ලි හම්බකරනවා. අසරණ ශ්‍රමිකයන්ට සල්ලිත් නැහැ, කරදරයට පත්වුනාම උදව්වට කවුරුවත් නැහැ."

වංචාකාර රැකියා ඒජන්සිවල ක්‍රියාකාරකම් 'හෙණ ගහන අපරාධ' ලෙසින් විග්‍රහ කරන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, එය වෙනස් කිරීමට මැදිහත් වන බව අවධාරණය කළේය. අපි ඔක්කොම එකතුවෙලා මේ මාෆියාව කුඩු කරන්න ගන්නවා, මේක ලේසි දෙයක් නොවෙයි, හැබැයි මම ඔය එක ඒජන්සිකාරයෙක්ට්ට්වත් බය නැහැ'

නිවාසවලින් පලා විත් සවුදියේ කඳවුරුවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ද මුණගැසුණු බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් පිළිබඳව පැවැත්වෙමින් තිබෙන බවත් පැවසීය.

"ප්‍රධාන කඳවුරේ කාන්තාවන් 200 ගාණක් ඉන්නවා. හැමදාම කිහිපදෙනෙක් ලංකාවට යනවා. ඒ වගේම තව පිරිසක් කඳවුරට එනවා. ගැටලුව තියෙන්නේ පිටත්වීමේ බලපත්‍රය ගැනීමේ."

"යම් ගැටළුවක් ඇතිකරගෙන සේවා ස්ථානයෙන් පිටත්වුනාම, ඒ හාම්පුතා පිටත්වීමේ බලපත්‍රය දෙන්නේ නැහැ. මොකද ඔහු ගෙවලා තියෙනවා ඒජන්සිකාරයෙක්ට රියාල් 25,000ක්. ඒක ගෙවනකම් පිටත්වීමේ බලපත්‍රය දෙන්නේ නැහැ. ඒකයි ගොඩක් දෙනාගේ ගැටලුව."

ඒජන්සිකරුවෙකු ලබාගන්නා සවුදි රියාල් 25,000න් අදාල සේවකයාට හිමිවන්නේ සවුදි රියාල් 1,000 ක පමණ මුදලක් බවයි, අමාත්‍යවරයා පෙන්වාදුන්නේ.

"බොහෝ ඒජන්සිකරුවන් මේ අය සූරන් කනවා. මට තියෙන ගැටලුව මෙච්චර ගැටළු ඇතිවෙද්දීත් මේ අවුරුදු 10 ට එක ඒජන්සිකාරයෙක්ට නඩු දාලා දඬුවම් ලබාදීලා නැති එක."

එබැවින් සියලු දෙනා එකතු වී එම 'මාෆියාව කුඩු කරන' බව අවධාරණය කරන නියෝජ්‍ය අමාත්‍යවරයා, කෙසේ නමුත් එය කිසිසේත්ම පහසු කටයුත්තක් නොවන බවත් සඳහන් කළේය.