'සති තුනක් ඇතුළත දිවියන් හත් දෙනෙක් මරුට'

දිවියන් දඩයම් කිරීම
Image caption දින 21 ඇතුළත දිවියන් මිය යෑමේ සිදුවීම් 07ක්

දඩයමට ලක් වන දිවියන් සංඛ්‍යාව වාර්තා ගත අන්දමින් ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා වනජීවී නියාමකවරුන්ගේ සංගමය පවසයි.

පසුගිය සති තුන ඇතුළත නුවරඑලිය දිස්ත්‍රික්කයේ දිවියන් හත් දෙනෙක් මරුමුවට පත් වී ඇති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

කෙටිකාලයක් ඇතුළත ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම දිවි මරණ සංඛ්‍යාව එය බවයි වනජීවී නියාමකවරුන්ගේ සංගමයේ වාර්තාවල දැක්වෙන්නේ.

හැටන්, නොර්වුඩ් සහ ආගරපතන ප්‍රදේශයේ තේ වතු ආශ්‍රිතව සැරිසරන දිවියන්, දඩයක්කරුවන්ගේ උගුල්වලට හසු වීමෙන් සහ වස මිශ්‍ර කළ මස් වර්ග ආහාරයට ගැනීම හේතුවෙන් මරණයට පත් වී ඇති බවත් සංගමය පවසයි.

Image copyright Getty Images
Image caption දිවියන් 800 ක් පමණ ශ්‍රී ලංකාව පුරා වනාන්තරවල වෙසෙන බව විශ්වාස කෙරෙන්නේ යයි පශු වෛද්‍ය විජිත පෙරේරා සංදේශයට මීට ඉහතදී පැවසීය

කැළෑ ගිනි තැබීම, නියඟය සහ සංවර්ධන කටයුතු සඳහා කැළෑ එළිපෙහෙළි කිරීම හේතුවෙන් සිය වාස භූමි අහිමි වීම සහ ආහාර හිඟ වීමත් සමග දිවියන් ගම් වදින බවයි පරිසරවේදී පුබුදු වීරරත්න කියා සිටියේ.

වාසස්ථාන සහ ස්වාභාවික දඩයම් බිම් අහිමි වීම හේතුවෙන් එළුවන්, සුනඛයන්, ගවයන් වැනි ගෘහ ආශ්‍රිත සතුන් දඩයම් කිරීමට දිවියන් යොමු වන තත්වයක් දක්නට හැකි බවත් ඔහු පැවසීය.

වනාන්තර ප්‍රදේශ විනාශ කරමින් තේ වගාව ව්‍යාප්ත වීම හේතුවෙන් මෙම තත්වය උග්‍ර වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ අතර ආගරපතන ඇල්බියන් තේ වත්තේ තේ දළු නෙළමින් සිටි කම්කරු කාන්තාවන් තිදෙනෙකු වෙත හඳුන් දිවියෙක් කඩා පැන ඇති බවත්, පසුව වතු කම්කරුවන් විසින් එම හඳුන් දිවියා සොයා තේ වතුයාය පරික්ෂා කරමින් සිටියදි මියගිය හඳුන් දිවියෙකුගේ මළසිරුරක් තේ ගස් අතර තිබී සොයා ගෙන ඇති බවත් රාහුල් සමන්ත හෙට්ටිආරච්චි බීබීසී සංදේශයට වාර්තා කරයි.

දිග අඩි 3 ½ හා උස අඩි 2 ½ පමණ වන ඉහත කී හඳුන් දිවියා ශ්‍රී ලංකාවට පමණක් ආවේනික දිවි විශේෂයකට අයත් බවයි වනජීවි නිලධාරින් පවසන්නේ.

Image caption යාල වන උද්‍යානය තුළ මෝටර් රථයකට ගැටී මිය ගිය දිවියෙක්

රතු දත්ත ලේඛනයට අනුව වඳ වී යාමේ තර්ජනයට මුහුණපා ඇති ආරක්ෂිත සතකු ලෙස ඉහත කී දිවි විශේෂය සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ නම් කොට ඇති බවත් වනජීවී නිලධාරීහු පෙන්වා දෙති.

ශ්‍රී ලංකාවේ වෙසෙන දිවි විශේෂ ආරක්ෂා කර ගැනීම සඳහා පූර්ණ මැදිහත්වීමක් සිදු කොට මෙම සිදුවීම්වලට වගකිවයුතු පුද්ගලයන්ට නීතියෙන් උපරිම දඬුවම් ලබා දීමට කටයුතු කරන බව සමස්ත ලංකා වනජීවී නියාමකවරුන්ගේ සංගමය අවධාරණය කරයි.

ආගරපතන ප්‍රදේශයේ මියගිය දිවියාගේ මරණයට වගකිවයුතු පුද්ගලයන් පිළබඳ අධිකරණය වෙත පිළිගත හැකි ආකාරයේ තොරතුරක් ලබා දෙන්නෙකුට රුපියල් දස දහසක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට තීරණය කොට ඇති බවත් සමස්ත ලංකා වනජීවී නියාමකවරුන්ගේ සංගමය නිකුත් කළ වාර්තාවක වැඩිදුරටත් සඳහන් වේ.

බීබීසී යෙන්