ජ්‍යෙෂ්ඨ ඇමරිකානු හමුදා නිලධාරියෙක් ශ්‍රී ලංකාවේ

ශ්‍රී ලංකා ඇමරිකානු සබඳතා
Image caption මේජර් ජෙනරාල් රඩර් ශ්‍රී ලංකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ අණදෙන නිලධාරීන් හමු විය

ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගිතාව වර්ධනය කළ හැකි වැදගත් අංශ හඳුනා ගැනීමේ අරමුණින් මේජර් ජෙනරාල් ස්ටීවන් ආර් රඩර් ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක නිරත වූ බව කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි.

සාගර ආරක්ෂාව පිළිබඳ තීරණාත්මක ගැට‍ළු, මානුෂීය ආධාර සහ ආපදා සහන සැපයීම් ඇතුළු එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් වැනි අංශ හඳුනා ගැනීමේ අරමුණින් එක්සත් ජනපද ශාන්තිකර කලාපීය විධානයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂකවරයකු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ පළමු අවස්ථාව මෙය බවයි, තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

එක්සත් ජනපද හත් වන බල ඇණියේ අණ දෙන USS 'බ්ලූ රිජ්' නෞකාව මෑතක දී ශ්‍රී ලංකාවට පැමිණි අතර, එක්සත් ජනපද ශාන්තිකර කලාපීය විධානයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂකවරයාගේ තෙදින නිල සංචාරය සිදු වූයේ ඉන් අනතුරුවයි.

ශ්‍රී ලංකාවට කලාපීය සාගර ආරක්ෂාව, ස්වාභාවික විපත්වලදී ප්‍රතිචාර දැක්වීම සහ නාවික ගමනාගමනයේ නිදහස සුරැකීම යන අංශ තුළ වැදගත් භූමිකාවක් ඉටු කළ හැකි බවයි, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කෙෂප් සිය නිවේදනයේ සඳහන් කරන්නේ.

"ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා මෑතකදී එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා අතිරේක සහාය පළ කොට ඇති අතර වර්තමානයේ ලෙබනනයේ, දකුණු සුඩානයේ සහ මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සෙබළුන් ස්ථාන ගත කිරීම වැඩිදියුණු කරමින් සිටියි," යනුවෙන්ද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

බීබීසී යෙන්