අයහපත් කාලගුණය හේතුවෙන් ජන ජීවිතයට බාධා
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ශ්‍රී ලංකාව පුරා දිස්ත්‍රික්ක දාහතරක ගංවතුර

අයහපත් කාලගුණය හේතුවෙන් ශ්‍රී ලංකාව පුරා දිස්ත්‍රික්ක දාහතරක ගංවතුර පවතින අතර, ළදරුවකු ඇතුළු අට දෙනකුවත් මරුමුවට පත්ව තවත් තිදෙනකු අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.

පවුල් 6000 කට අයත් 12,000 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පවසන්නේ.

අයහපත් කාලගුණයෙන් වැඩිම බලපෑම ඇති වී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයට බවත් ඔහු සඳහන් කළේය. දිවයින පුරා ගමනාගමන කටයුතුද අඩාල වී පවතී.

පාර්ලිමේන්තුව

විශේෂයෙන්ම කැළණි ගඟේ පහල ජල ධාරා ප්‍රදේශවල වෙසෙන ජනතාව ඉවත්කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින අතර, රට පුරාම නිවාස 150 කට පමණ හානි සිදු වී තිබේ.

Image caption පාර්ලිමේන්තුවත් ගංවතුරින් යට වීමේ අවදානමක්

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තුවැඩ ගංවතුරෙන් යටවීමේ තර්ජනයක් පවතින බැවින් වැලි කොට්ට දමා දියවන්නා ඔයේ ජල මට්ට්ම පාලනය කිරීමේ උත්සාහයක නිරතව සිටින බවයි ආරක්ෂක ලේකම් ආචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි පවසන්නේ.

රට පුරාම සහන සැලසීමේ කටයුතු සඳහා දැනටමත් ආරක්ෂක හමුදා යොදවා ඇති බවත් ඔහු පැවසීය.

දැරණියගල ප්‍රදේශයේ නාය යාමකින් දෙදෙනකු පස් කන්දකට යට වී මිය ගිය අතර තවත් අයකු අතුරුදහන්ව සිටියි.

නාය යාම

ඇහැලියගොඩ ප්‍රදේශයේද නිවසකට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් එක් අයකු මියගියේය. එම පස් කන්දටම යටවී සිටි කාන්තාවන් දෙදෙනකු තුවාල සහිතව බේරාගැනීමට ගම්වාසීන්ට හැකි වී තිබේ.

Image copyright AFP/Getty Images/ Ishara Kodikara
Image caption රටපුරා දිස්ත්‍රික්ක දාහතරක ගංවතුර

රත්නපුර දිස්ත්‍රික්කයේ එක් අයකු මියගොස් තිදෙනකු අතුරුදන් වී ඇති අතර, දිස්ත්‍රික්කයේ 4960 දෙනෙක් අවතැන් වී සිටිති.

මේ අතර සිය ප්‍රදේශවල භූමියේ සිදුවන වෙනස්වීම් දෙස අවධානයෙන් සිටින මෙන් ඉල්ලා සිටින ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක එම් බණ්ඩාර, දිවයින පුරා දිස්ත්‍රික්ක නමයක නාය යාමේ අවදානමක් තිබෙන බවත් සඳහන් කළේය.

සඳුදා සවස දෙකේ සිට ඉදිරි පැය 24 ක කාලය තුල අවධානයෙන් පසුවන මෙන් ඔහු එම දිස්ත්‍රික්කවල ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

ධාරානිපාත වර්ෂාව සහ දැඩි සුළඟ හේතුවෙන් රට පුරාම ධීවර ප්‍රජාවට ජීවිකාව අහිමි වී ඇති බව ධීවර වෘත්තීය සමිති පවසති.

ගැඹුරු මුහුදේදී අනතුරට මුහුණ දුන් ධීවරයන් දෙදෙනකු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් බේරා ගෙන රෝහල්ගත කර තිබේ.

මේ අතර මාරවිල මුහුදු තීරය උග්‍ර සමුද්‍ර ඛාදනයකට මුහුණ දී සිටින බව පවසන ප්‍රදේශවාසීහු සිය මුහුදු තීරය බේරා දෙන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරති.