නාය යෑම්: හය දෙනෙක් පස් කන්දකට යට වෙයි

හානියට පත් ප්‍රදේශයක්
Image caption අධික වර්ෂාව හේතුවෙන් පස් කන්දක් කඩා ගෙන් ගොස් ඇති අන්දම

කඩුගන්නාව වට්ටටප්පොළ අලඳුවත්ත ග්‍රාමයේ සිදු වූ නාය යෑමකින් ඥාති පවුල් දෙකකට අයත් මව්වරු දෙදෙනකු හා ඔවුන්ගේ දරුවන් සිව්දෙනා ඔවුන් පදිංචි නිවාසද සමඟ පස් කන්දට යට වී තිබේ.

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිදු වූ එම ඛේදවාචකයෙන් අනතුරුව පැය අටකට ආසන්න මෙහෙයුමකින් පසු එක් මවකගේ හා දරුවකුගේ මළ සිරුරු අඟහරුවාදා දහවල් සොයාගනු ලැබිණ.

පිළිමතලාව ඉලුක්වත්ත මාර්ගයේ කඳු මුදුනක බෑවුම් සහිත ස්ථානයක පිහිටි නිවාස තුනකුයි මෙසේ නාය යෑමට ලක් වී තිබෙන්නේ. ඉන් නිවාස දෙකක් නිවැසියන්ද සමඟ මුළුමනින්ම පස්කන්දට යට වී තිබේ.

ඉහළින්ම වූ නිවසේ පදිංචිකරුවන් නාය යෑමට මොහොතකට පෙර නිවසින් පිටතට පැන දිවි බේරාගෙන ඇති බවත් ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න වාර්තා කරයි.

Image caption ගංවතුර, ගස් කඩා වැටීම සහ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් රටපුරාම බොහෝ ප්‍රදේශවල ජනජීවිතය අඩාල වී තිබේ

අදාළ නිවාස දෙකේ පියවරුන් දෙදෙනාම දිවි ගලවාගෙන තිබේ.

ප්‍රදේශයට එල්ල වුනු අධික වර්ෂාව හේතුවෙන් එම ප්‍රදේශයේ තවත් ස්ථාන කිහිපයක් නායයෑමේ අවදානමකට ලක්ව තිබෙන බැවින් නිවාස 55 ක පදිංචි කරුවන් වහා ඉවත්කිරීමට පියවර ගත් බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර පැවසීය.

බැකෝ යන්ත්‍ර දෙකක් යොදා ගනිමින් මෙම ස්ථානයේ පස් ඉවත්කිරීම් සිදු කෙරෙන බවත් යුද හමුදා නිලධාරීන් 100 ක් අදාළ වැඩකටයුතු සඳහා යොදවා තිබෙන බවත් යුද හමුදා මධ්‍යම ප්‍රදේශ ආඥාපති මේජර් ජනරාල් නන්දන රණවීර පැවසීය.

ප්‍රදේශය පුරා අඛණ්ඩව පවතින වර්ෂාව හේතුවෙන් තවත් පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට සිදුවිය හැකි බවත් දිස්ත්‍රික් ආපදා ඒකකය පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර