'උපදෙස් පිළිපදින්න' මහ ජනතාවට රජයෙන් ඉල්ලීමක්

ආපදා කළමනාකරණ නිලධාරීන් හා ආරක්ෂක අංශ ලබාදෙන උපදෙස් පිළිගෙන ඒ ආකාරයෙන් කටයුතු කරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා අද කොළඹදී මාධ්‍ය හමුවක් අමතමිනුයි රජය වෙනුවෙන් මෙම ඉල්ලීම සිදු කළේ.

ගංවතුර තත්වයක් හෝ නායයාමක් සිදුවිය හැකි බවට අනතුරු ඇගවීමක් කර ඇති ප්‍රදේශ වලින් ඉවත් වන ලෙස බලධාරීන් ඉල්ලීමක් කළහොත් එය පිළිගෙන කටයුතු කරන ලෙසයි ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

'අපේ නිලධාරියෙක් උපදෙසක් දෙන්නේ ජනතාවගේ ජීවිතය ආරක්ෂා කරන්න, දේපළ ද ජිවිතය ද කියන තර්කය උඩ මන් හිතන්නේ ජීවිතයි අපි අරකෂා කළ යුත්තේ අපේ තොරතුරුවල නිරවද්‍යතාවය ගැන සැක පහළ කරන්න එපා, එතකොට මේක කරන්න බැහැ' අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

පවතින ගංවතුර තත්වය අඩුවීමක් තිබුනත් එය සම්පුර්ණයෙන් පහව යනතෙක් ආරක්‍ෂිත ස්ථානවල රැදී සිටින ලෙසයි ඔහු වැඩිදුරටත් මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

'තාමත් ගංවතුර උවදුර පහවෙලා ගිහිල්ල නැහැ, ප්‍රමාණය අඩුවෙන්න පුළුවන්, හැබැයි බැස යනවයි කියලා මට නම් කියන්න බැහැ, ඒ නිසා හැමෝම අරකෂිත ස්ථානවල ඉන්න, ඒ අයට පහසුකම් සලසනවා අපි' අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා අවධාරණය කළේය.

මෙවන් ව්‍යසනයක් සිදුවූ විට සහන බෙදාහැරීමේ යම් අඩුපාඩු සිදු විය හැකි බව පැවසූ අමාත්‍යවරයා කෙසේ වෙතත් එවන් තත්වයන් මගහැර කටයුතු කිරීමට රජය සැමවිටම උත්සාහ කරන බවයි පැවසුවේ.

ආපදා තත්ත්වයෙන් විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා අවශ්‍ය මුදල් ලබා දීමටත් පවතින තත්ත්වයට මුහුණ දීම සඳහා රජය තම සම්පූර්ණ යාන්ත‍්‍රණය යොදවා ඇති බවද අමාත්‍යවරයා සදහන් කළේය.