කොළඹ වෙළඳපොළ වැසී යෑම රටට බලපෑ හැටි

කොළඹ වෙළඳපොළ වැසී යෑම රටට බලපෑ හැටි Image copyright Getty Images
Image caption භාණ්ඩ ඔසවන්නන්ගේ නිවාස ගංවතුරෙන් යට වීමත් සමග ඔවුන්ට සේවයට වාර්තා කිරීමට නොහැකි තත්වයක් යටතේ රටේ සෙසු පළාත් වෙත සිදු කෙරෙන භාණ්ඩ ප්‍රවාහනය ඇණ හිට ඇති බවයි වාර්තා වන්නේ

කොළඹ දිස්ත්‍රික්කයේ පවතින ගංවතුර තත්වය රටේ සෙසු පළාත්වල ආර්ථිකයට බලපා ඇති බව වාර්තාකරුවෝ පවසති.

ශ්‍රී ලංකාව පුරා තොග භාණ්ඩ බෙදා හරිනු ලබන්නේ කොළඹ තොග වෙළඳපොළ හරහායි.

භාණ්ඩ ඔසවන්නන්ගේ නිවාස ගංවතුරෙන් යට වීමත් සමග ඔවුන්ට සේවයට වාර්තා කිරීමට නොහැකි තත්වයක් යටතේ රටේ සෙසු පළාත් වෙත සිදු කෙරෙන භාණ්ඩ ප්‍රවාහනය ඇණ හිට ඇති බවයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් රත්නපුර සහ ඒ අවට නගරවල භාණ්ඩ හිඟයක් දක්නට ඇති බවයි අජිත් ලාල් ශාන්ත උදය සංදේශයට කියා සිටියේ.

තොග භාණ්ඩ හිඟකම හේතුවෙන් වෙළඳපොළේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ ගොස් ඇති බවත් ඔහු පැවසීය.

'අර්තාපල්, බී ලූණු, රතු ලූණු, හාල් මැස්සෝ, කරවල සහ ඇතැම් එළවළුවල ලොකු මිල වැඩි වීමක් දකින්නට තිබෙනවා.' රත්නපුර තොග වෙළඳපොළේ වෙළෙන්දෙක් කියා සිටියේය.

Image copyright Getty Images
Image caption කොළඹ පවතින ගංවතුර සිය ආර්ථිකයට දැඩි ලෙස බලපා ඇති බවයි ඇඹිලිපිටියේ කෙසෙල් ගොවීන් පවසන්නේ

ඊට අමතරව බොහොමයක් මාර්ග ජලයෙන් යට වී පැවතීම හේතුවෙන් විකල්ප මාර්ග ඔස්සේ අතිරේක දුරක් ගෙවා පැමිණෙන ලොරි සඳහා ගෙවිය යුතු ප්‍රවාහන ගාස්තු දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව සිල්ලර වෙළෙන්දකු වන ටීඩී බණ්ඩාර සඳහන් කළේය.

එසේම රටේ සෙසු පළාත් තුළ වගා කොට කොළඹ වෙළඳපොළ වෙත ගෙන එන නිෂ්පාදන විකුණා ගැනීමට ගංවතුර බාධාවක් වී තිබේ.

කොළඹ පවතින ගංවතුර සිය ආර්ථිකයට දැඩි ලෙස බලපා ඇති බවයි ඇඹිලිපිටියේ කෙසෙල් ගොවීන් පවසන්නේ.

'අපිට කෙසෙල්, වෙළඳපොළට හෝ කඩවලට දා ගන්න බැරි තත්වයක් තියෙන්නේ. කොළඹ ගංවතුර නිසා කෙසෙල් මිළදී ගන්න විදිහක් නැහැ කියලා තොග වෙළෙන්දෝ කියනවා' කෙසෙල් ගොවියකු වන රංජිත් ජයවික්‍රම කියා සිටියේය.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර