එවරස්ට් මුදුනට ලඟා වී ආපසු ඒම 'පරාජයක් නොවේ'

මීටර 8400 ක් උසට ළඟා වූ යොහාන් පීරිස් Image copyright Everest Expedition - Sri Lanka 2016
Image caption මීටර 8400 ක් උසට ළඟා වූ යොහාන් පීරිස්

එවරස්ට් කඳු මුදුන ස්පර්ශ කිරීමට අත ළඟ තිබියදී ආපසු හැරී ඒමට සිදු වූ නමුත් ඒ තාක් දුරට ළඟා වීම තමා ලද ජයග්‍රහණයක් බව ශ්‍රී ලාංකික කඳු නගින්නෙකු වන යොහාන් පීරිස් පවසයි.

ජයන්ති උතුකුරුම්පාල සමග එවරස්ට් අභියෝගයට මුහුණ දුන් යොහාන් පීරිස්ට එවරස්ට් කඳු ශීර්ෂයට ළඟා වීමට මීටර 300 ක් තිබියදී ආපසු හැරී ඒමට සිදු විය.

කණ්ඩායමේ සෙසු සාමාජිකාව වන ජයන්ති කුරු උතුම්පාල කඳු මුදුන වෙත ළඟා වූ නමුත් තමා සතුව තිබූ ඔක්සිජන් ටැංකියේ වායු පරිමාව ප්‍රමාණවත් නොවූ බැවින් තම ජීවිත අවදානම පිළිබඳ අවධානය යොමු කොට එසේ ආපසු හැරී ඒමට සිදු වූ බවයි යොහාන් පීරිස් කියා සිටියේ

"ඒක පරාජයක් ලෙස පිළිගන්නේ නැහැ. මම හිතන්නේ මේකත් ජයග්‍රහණයක්. මීටර 8400 ක් උස මම ළඟා වූ තැන ශ්‍රී ලංකා කොඩිය එසෙව්වා. ඒ වගේම කණ්ඩායමක් වශයෙන් අපි දෙදෙනාම ජය ලැබුවා."

යොහාන් පීරිස් සමග සාකච්ඡාවට එක් වූ ජයන්ති කුරු උතුම්පාල ලොව උසම කන්ද වන එවරස්ට් කඳු ශීර්ෂය වෙත ළඟා වුනේ ඒ වෙත ළඟා වූ පළමු ශ්‍රී ලාංකිකයා මෙන්ම පළමු ශ්‍රී ලංකික කාන්තාවද බවට පත්වෙමිනි.

'කණ්ඩායමේ ජයග්‍රහණයක්'

Image copyright Everest Expedition - Sri Lanka 2016
Image caption එවරස්ට් කඳු මුදුණ වෙත ළඟා වූ පළමු ශ්‍රී ලාංකිකයා මෙන්ම පළමු ශ්‍රී ලංකික කාන්තාව ජයන්ති කුරු උතුම්පාල

"මට හුඟක් ආඩම්බරයි එවරස්ට් කන්ද තරණය කරන්න හැකි වීම ගැන. යොහාන් සහ මම කණ්ඩායමක් වශයෙන් මේ අභියෝගය ජය ගෙන තිබෙනවා," ඇය කියා සිටින්නීය.

කණ්ඩායමක් වශයෙන් කටයුතු කිරීම හේතුවෙන් තමා එවරස්ට් අභියෝගය ජය ගත් බවයි ජයන්ති කුරු උතුම්පාල පවසන්නේ.

"මේක දවසින් දෙකකින් කරන දෙයක් නෙවෙයි. අපි මාස දෙකක්ම කණ්ඩායමක් වශයෙන් ඒ සඳහා පුහුණු වුනා."

එවරස්ට් කඳුකරයේ පවතින දැඩි ශීත කාලගුණය සහ දුෂ්කර තත්වයන්ට මුහුණ දීම සඳහා ශරීර ශක්තියට අමතරව මනසින් ද ශක්තිමත් විය යුතු බවයි ඇය පෙන්වා දෙන්නේ. (ජයන්ති කුරු උතුම්පාල සහ යොහාන් පීරිස් සරෝජ් පතිරණ සමඟ පැවැත්වූ සාකච්ඡාවට සවන්දෙන්න)

'දුෂ්කර කටයුත්තක්'

Image copyright Getty Images
Image caption එවරස්ට් කඳු නැගීමේ යෙදී සිටි විදේශීය කඳු නගින්නන් තිදෙනකු මරුමුවට පත් වී ඇති බවත් ඉන්දීය ජාතිකයන් දෙදෙනකු අතුරුදහන් වී ඇති බවත් පසුගියදා වාර්තා විය

කෙසේ වෙතත් එවරස්ට් කන්ද තරණය කිරීමේදී අනුගමනය කළ යුතු ආරක්‍ෂිත පියවර සම්බන්ධයෙන් මඟ පෙන්වන්නන් උපදෙස් ලබා දෙන බවත් ඇය සඳහන් කළාය.

"උණු වතුර බීලා, දුම් අල්ලලා ඒ වගේ දේවලුත් කරන්න සිදු වුනා. කන්ඩ අමාරු වුනා, නමුත් කෑම අවශ්‍යයි. වතුර ලීටර හතරක් පමණ දිනකට පානය කළ යුතුයි," ජයන්ති කුරු උතුම්පාල වැඩිදුරටත් කියා සිටින්නීය.

මේ අතර එවරස්ට් කඳු නැගීමේ යෙදී සිටි විදේශීය කඳු නගින්නන් තිදෙනකු මරුමුවට පත් වී ඇති බවත් ඉන්දීය ජාතිකයන් දෙදෙනකු අතුරුදහන් වී ඇති බවත් පසුගියදා වාර්තා විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර