දෙදාස් පන්සීය ඉල්ලා වතු කම්කරු උද්ඝෝෂණයක්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දෙදාස් පන්සීය ඉල්ලා පිටකොටුවේ වතු කම්කරු උද්ඝෝෂණයක්

රජය මගින් වතු කම්කරුවන්ට ලබා දුන් රුපියල් දෙදහස් පන්සියක වැටුප් වැඩිවීම ඔවුන්ට වහාම ලබා දෙන ලෙස වතු සමාගම්වලට බල කරමින් අද කැබිනට් ඇමතිවරුන් දෙදෙනකු ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැය කිහිපයක සත්‍යග්‍රහයක නියැලුනහ.

දමිළ ප්‍රගතිශීලි සන්ධානය හා වැවිලි කර්මාන්ත වෘත්තිය සමිති සම්මේලනයයි මෙම සත්‍යග්‍රහය සංවිධානය කර තිබුණේ.

කැබිනට් අමාත්‍යවරුන් වන මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් හා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වි රාධාක්‍රිෂණන් මේ සත්‍යග්‍රහයට මුලිකත්වය ගෙන තිබුණි.

Image caption කැබිනට් අමාත්‍යවරුන් වන මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් හා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වි රාධාක්‍රිෂණන් සමග ඒකාබද්ධ විපක්ෂයේ වාසුදේව නානායක්කාර ද මේ අවස්ථාවට එක්ව සිටියහ

රජය විසින් වතුකමකරුවන්ට ලබාදීමට යෝජනා කල රුපියල් 2500ක වැටුප් වැඩිවීම වතු හාම්පුතුන්ගේ සංගමය ප්‍රතික්ෂේප කර ඇති නිසා එය ලබාදෙන ලෙස ඔවුනට බලකිරීමට මෙම සත්‍යග්‍රහය ආරම්භ කළ බවයි අමාත්‍ය පලනි දිගම්බරම් පැවසුවේ.

'දින 14 කාලයක් වතු හාම්පුතුන්ගේ සංගමයට ලබා දෙනවා. එම කාලය තුළ මෙම රැපියල් දෙදහස් පන්සියේ වැටුප ලබා දීමට අපොහොසත් වුවහොත් වතුකරය පුරා වැඩ වර්ජනයක් කරනවා' යනුවෙනුයි ඔහු පැවසුවේ.

වතු කම්කරුවන්ගේ නව වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු ඒකාබද්ධ වෘත්තිය සමිති අතර පැවැත්වෙන සාකච්ඡාවල එකඟතාවයකට පැමිණෙන තෙක් මෙම රුපියල් 2500 ක වැටුප් වැඩිවීම කම්කරුවන්ට ලබාදෙන ලෙසයි සත්‍යග්‍රහයට එක්වූ මනෝ ගනේෂන් අමාත්‍යවරයා පැවසුවේ.

Image caption පඩි වැඩිවීම ලබාදීම සිදු නොකළ හොත් අනිවාර්යෙන්ම දින 14 කින් සමස්ත වතුකරයම එක්ව වැඩවර්ජනයකට යන බවයි අමාත්‍ය මනෝ ගනේෂන් පැවසුවේ.

වතු හාම්පුතුන්ගේ සංගම් පවසන්නේ ලෝක වෙළදපොළේ තේ මිළ දිගින් දිගටම අඩු වන තත්වයක් යටතේ එවන් වැටුප් වැඩිකිරීමක් සමාගම්වලට දැරිය නොහැකි බවයි.

කෙසේ වෙතත් අමාත්‍ය මනෝ ගනේෂන් පවසන්නේ ලාභ ලැබූ අවදියේ ලාභය කම්කරුවන් සමග බෙදනොගත් සමාගම් දැන් පාඩුව පමණක් කම්කරුවන් සමග බෙදාගැනීමේ උත්සාහයක නියැලී සිටින බවයි.

එලෙස පඩි වැඩිවීමක් ලබාදීමට නොහැකි නම් එලෙසෙ වැඩිවීම ලබාදිය හැකි සමාගම්වලට එම වතු බාරදී පිටව යන ලෙසයි අමාත්‍යවරයා පැවසුවේ.

පඩි වැඩිවීම ලබාදීම සිදු නොකළ හොත් අනිවාර්යෙන්ම දින 14 කින් සමස්ත වතුකරයම එක්ව වැඩවර්ජනයකට යන බවයි අමාත්‍ය මනෝ ගනේෂන් පැවසුවේ.