අනුරට ඇප නැහැ

Image caption සැකකරුවන් ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

තීන්දු දීමේදී යම් කිසි පුද්ගලයෙකු සතුටු කිරීමේ අදහසින් තමා තීන්දු නොදෙන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ රග්බි ක්‍රීඩක වසීම් තාජුදින්ගේ මරණය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයට පත් කර ඇති හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති අනුර සේනානායක ඇතුළු සැකකරුවන් දෙදෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරමිනි.

තම තීන්දු සම්බන්ධයෙන් කිසියම් අයෙකු සෑහීමකට පත් නොවන්නේ නම් ඉහල අධිකරණයකට අභියාචනා ඉදිරිපත් කළ හැකි බව අතිරේක මහේස්ත්‍රාත්වරයා තවදුරටත් පැවසීය.

ඇප ඉල්ලීම ඉදිරිපත් කරමින් අනුර සෙන්නානායක වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා කියා සිටියේ තාජුදින් ඝාතනයට යම් යම් පුද්ගලයින් සම්බන්ධ බවට ප්‍රකාශ ලබා දෙන මෙන් රහස් පොලිසිය තම සේවාදායකයාට බලපෑම් සිදු කර ඇති බවයි.

උසස් පොලිස් නිලයක්

ඊට අවනත නොවීම හේතුවෙන් සිය සේවාදායකයා රැඳවුම් භාරයට ගැනීමට පොලිසිය පියවර ගත බවද නීතිවේදියා චෝදනා කළේය.

එම ඉල්ලීමට විරෝධය පළ කළ රජයේ නීතිවේදියා කියා සිටියේ අනුර සේනානායක උසස් පොලිස් නිලයක් හොබවා ඇති නිසා ඔහුට ඇප ලබා දුනහොත් සාක්කිකරුවන්ට බලපෑම් එල්ල වීමට ඉඩකඩ තිබෙන බවයි.

සැකකාර අනුර සේනානායක තාජුදින් ඝාතනය කිරීම සදහා කුමන්ත්‍රණය කර තිබේදැයි වැඩිදුර පරීක්ෂණ පවත්වන බැවින් ඇප ඉල්ලීමට විරුද්ධ වන බව රජයේ නීතිවේදියා ප්‍රකාශ කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු අධිකරණය ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර සැකකරුවන් ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.