අලි නඩුවේ තීන්දුවට තහනම් නියෝගයක්

Image copyright Getty Images
Image caption වෙසක් උත්සවය හා බැඳුණු පෙරහැර කටයුතු සඳහා අලි ඇතුන් අවශ්‍ය බැවින් අත් අඩංගුවේ සිටින සිය අලි ඇතුන් මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් අලි හාම්පුතුන් විසින් ඉල්ලා තිබුණි

නිසි බලපත්‍ර නොමැති හේතුව මත වනජීවී දෙපාර්තමේන්තුව භාරයට පත් කර තිබූ අලි ඇතුන් 15 දෙනෙකු ඉදිරි පෙරහැර කටයුතු සඳහා බැඳුම්කර මත මුදා හරින මෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දුන් නියෝගය ක්‍රියාත්මක කිරීම වළකාලමින් කොළඹ මහාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටියගේ තීන්දුවට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුවයි අධිකරණය ලබන 09 වනදා තෙක් බල පැවැත්වෙන පරිදි මෙම තහනම් නියෝගය නිකුත් කළේ.

වෙසක් උත්සවය හා බැඳුණු පෙරහැර කටයුතු සඳහා අලි ඇතුන් අවශ්‍ය බැවින් අත් අඩංගුවේ සිටින සිය අලි ඇතුන් මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් අලි හාම්පුතුන් විසින් මහේස්ත්‍රාත්වරයා හමුවේ ඉල්ලීම් කර තිබුණි.

එම ඉල්ලීම පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එක් අලියෙකු සඳහා රුපියල් කෝටි තුන බැගින් වූ බැඳුම්කර මත මුදා හැරීමට ඉකුත් දා නියෝග කළේය.

එම නියෝගය නීති විරෝධී බවට තීන්දු කරන මෙන් ඉල්ලා නීතිපතිවරයා මහාධිකරණයට ඉහත කී අභියාචනය ඉදිරිපත් කර තිබේ.

බීබීසී යෙන්