නැගෙනහිර මහ ඇමතිගේ ක්‍රියාව ගැන වාර්තාව ජනපතිට

Image caption 'යම්කිසි සිද්ධියක් වුනොත් ඒක රටට හොඳ මදි නිසා....' ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි

නැගෙනහිර මහ ඇමතිවරයා නාවික හමුදා නිලධාරියෙකු අපහසුතාවයට පත් වන අයුරින් සිදු කළ බව පැවසෙන ප්‍රකාශය සම්බන්ධයෙන් නාවික හමුදාව ලබා දුන් වාර්තාව ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බව ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

ඒ පිළිබඳව ඉදිරි කටයුතු සිදු කිරීම සඳහා ජනාධිපතිවරයාගෙන් උපදෙස් බලාපොරොත්තුවෙන් සිටින බවයි ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි බීබීසීය කළ විමසීමකදී කියා සිටියේ.

නැගෙනහිර මහ ඇමතිවරයා සහභාගී වන වැඩසටහන්වලට ත්‍රිවිධ හමුදාව සහභාගී නොවීමට පියවර ගෙන ඇත්තේ කාගේත් යහපත වෙනුවෙන් බවයි ඔහු පවසන්නේ.

'රටට හොඳ මදි'

'එහෙම තීන්දුවක් හමුදාව විසින් අරගෙන තියෙනවා. ඒක කරලා තියෙන්නේ හැමෝගෙම යහපත තකා. මොකද, යම්කිසි සිද්ධියක් සිදු වුනොත් මේ කාරණය හෝ වෙනත් කරුණක් පදනම් කරගෙන, ඒක එතරම් රටට හොඳ මදි නිසා අපි ඒ තීරණය අරන් තියෙනවා.' ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

කෙසේ නමුත් ආරක්ෂක අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් සියලු පාර්ශව සමඟ සාකච්ඡා කර ඇති බව ඔහු සනාථ කළේය.

'අපි මේ ප්‍රශ්නය අදාළ හැම පාර්ශවයක් එක්කම කතා කරලා තියෙනවා. ඒ අනුව මං හිතන්නේ අද හවසට හෝ හෙට උදේ වන විට මේ ප්‍රශ්නය නිරාකරණය කර ගත හැකියි.' ඔහු සන්දේශයට ප්‍රකාශ කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර